71 වැනි ජාතික දින සැමරුම

17

71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර පිටියේදි අභිමානවත් ලෙස පැවැත්වුණා.

පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සම්ප්‍රාප්තිය මුලින්ම සිදුවූ අතර, ඉන් අනතුරුව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය නිදහස් සැමරුම් භූමිය වෙත පැමිණියා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පැමිණීමෙන් අනතුරුවයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන උත්සව භූමිය වෙත පැමිණියේ.

පසුව අගවිනිසුරු නලින් පෙරේරා නිදහස් උළෙලට එක්වීම සඳහා පැමිණි අතර, අනතුරුවයි කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ උත්සව භූමිය වෙත සම්ප්‍රාප්ත වුණේ.

පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සම්ප්‍රාප්තිය සිදුවූ අතර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මෙන්ම ෆීල්ඞ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මෙවර නිදහස් දින උළෙලට සහභාගි නොවීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් හිටපු විපක්ෂ නායක, දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ද නිදහස් සැමරුම් උත්සවයට එක්ව සිටියා.

අග්‍රාමාත්‍යවරයාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව සිදුවුණේ නිදහස් උළෙලේ විශේෂ ආරාධිතයා ලෙස මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති  ඊබ්‍රාහිම් මොහොමඞ් සෝලිගේ සම්ප්‍රාප්තියයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඔහුව පිළිගත් අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැමිණීම ඉන් අනතුරුව සිදුවුණා.

ජනාධිපතිවරයාගේ සම්ප්‍රපාප්තියත් සමඟ 71 වන ජාතික නිදහස් උළෙලේ ආරම්භය සිදුවූ අතර, මගුල් බෙර සහ සක් හඩ මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය ඔසවනු ලැබුවා.

ජාතික දින සැමරුමට ආශිර්වාද පළ කිරීම සඳහා පාසල් සිසුවියන් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ජයමංගල ගාථා සජ්ඡායනා කිරීම පසුව සිදුවුණා.

මෙරට ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් අනුස්මරණය සඳහා අනතුරුව විනාඩි 2 ක නිශ්ශබ්දතාවක් පැවැත්වූ අතර, ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩි මුර 21 ක් පිරිනැමීම සිදුවුණේ ඉන් පසුවයි.   

ජනාධිපතිවරයා ජාතිය ඇමතීමෙන් පසුව 71 වන ජාතික නිදහස් සැමරුම් උත්සවය විචිත්‍රවත් කරමින් ආචාර පෙළපාලි සහ සංස්කෘතිකාංග ඇතුලත් පෙරහරක්ද පැවැත්වූ අතර, ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 5848 දෙනෙකු එක්වුණා.

Comments