හැමෝම දන්නා කාංචනගේ රහසක් එලියට එයි

6

කාංචන කොඩිතුවක්කු කියන්නේ ටෙලිනාට්‍ය හරහා අපි හඳුනාගත්ත ඉතාම දක්ෂ වගේම කඩවසම් නළුවෙක්. අපි ඔහුව බොහෝවිට දැක්කේ පුංචි තිරයෙන්. තිරයෙන් දැක්ක ඔහු ගැන වැඩි යමක් දන්නේ කාංචනගේ බිරිය ශානිකා කොඩිතුවක්කු. ඇය හදගැස්මට එකතුවෙලා කාංචන ගැන මෙහෙම කිව්වා.

ආදරේ කරන කාලේ

ආදරේ කරන කාලේ කාංචන හරිම ආදරණීය චරිතයක්. හොඳට හොයලා බලනවා මං ගැන. අදටත් හරිම ආදරණීය චරිතයක්.

සැමියා විදියට

සැමියා වුණාම එහෙම ලොකු වෙනසක් වුණේ නෑ. ඒ ආදරේ වෙනසක් නැතිව එහෙමම තියෙනවා.

තාත්තා කෙනෙක් විදියට ඔහු

දුවත් එක්ක හරිම සමීපයි. මට වෙලාවකට හිතෙනවා මගේ බබාද ඉන්න වාසනාවන්තම දරුවා කියලා. මොකද කාංචන ඒ තරමට බබාට ආදරෙයි.

කාංචන වැඩිපුරම ආදරේ

කාංචන වැඩිපුරම ආදරේ කරන්නේ දුවට.

ඔහුට නැතුවම බැරි අය

කාංචනගේ අම්මයි, තාත්තායි, ඒ වගේම බබා මම සහ එයා ආදරේ කරන හැමෝම එයාට ඕනේ.

කාංචනගේ ජීවිතේ වැඩි ඉඩක් වෙන් කරන දේවල්?

මටයි දුවටයි තමයි ලොකු ඉඩක් තියෙන්නේ. අපි තුන්දෙනා ගැන තියෙන සැලසුම් ගොඩයි. ඒ වගේම මවුපියන්ටත් ලොකු ඉඩක් තියෙනවා එයාගේ ජීවිතේ.

සතුටු හිතුණාම

අපි තුන්දෙනා කොහේහරි ගිහින් ඒ ගැන කතා කරනවා. ඒ සතුට බෙදාගන්නවා. ගොඩක් වෙලාවට සතුටක් ආවම එහෙම තමයි කරන්නේ.

දුක හිතුණම

දුක හිතුණොත් ඒ දේවල් පෙන්නන්නේ නෑ. හැබැයි එයා එක්ක කතා කරනකොට මට දැනෙනවා මොකක් හරි දුකකින් එයා ඉන්නේ කියලා. නමුත් එයා දුකින් ඉන්නේ කියලා මට කියන්නේ නෑ.

කාංචනට කේන්ති ගියාම

ඒ වෙලාවට නම් එයා එක්ක කතා කරන්නත් බයයි. සමහර වෙලාවට පොඩි පොඩි දේවල්වලටත් කේන්ති ගන්නවා. ඒ සමහර දේවල් කේන්ති ගන්න ඕන දේවලුත් නෙවෙයි. සමහර දේවල්වලට නම් මට දුකක් හිතෙනවා. හැබැයි කේන්ති ගියාට ඊළඟ දවසේ එයාම ආයෙත් මාත් එක්ක කතා කරනවා. කාංචනගේ තියෙන දුර්වලකමක් තමයි එහෙම කේන්ති ගන්න එක.

ඔබ කාංචනගේ කැමැති ගතිගුණ

මං එයාගෙන් මොනවා හරි ඉල්ලුවොත් ඒ දේ නොදී ඉන්නේ නෑ. කොහොම හරි ගෙනල්ලා දෙනවා. ගිය අවුරුද්දේ මම දෙයක් ඉල්ලුවා නම් ඒක මේ අවුරුද්දේ දවසක හරි ගෙනත් දෙනවා. කවදාවත් අමතක කරන්නේ නෑ.

කාංචනගේ නරක ගතිගුණ

පුංචි පුංචි දේවල්වලට කේන්ති ගන්නවා. ඒ දේට මම කැමැති නෑ. හැබැයි එයාම ආපහු මාත් එක්ක කතා කරනවා.

කාංචන වෙන අයගේ අකැමැති ගතිගුණ

සමාජයට නරක ආදර්ශයක් දෙන හරි එහෙමත් නැත්නම් නරක දේවල් කරන අය හෝ ඒ වගේ දේවල්වලට පොලඹවන අයට කාංචන කැමැති නෑ.

කාංචන වෙන අයගේ කැමැති ගතිගුණ

වෙලාවට වැඩ කරනවට කාංචන කැමැතියි. මොකද එයත් වෙලාවට වැඩ කරන කෙනෙක්. අපි මොකක් හරි දෙයකට පරක්කු වුණත් එයාට කේන්ති යනවා.

කාංචන සීමාවන් දාගෙන තිබෙන දේවල්

කාංචන බෞද්ධයෙක්. මම කතෝලික. හැබැයි එයා බුද්ධාගමේ කියලා ඒ දේට සීමා වෙලා නෑ. වෙන ආගම්වල තියෙන හොඳ දේවලුත් අනුගමනය කරනවා.

කාංචන වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?

ඔව්, මුණගැහුණු පළමුවැනි දවසේ ඉඳලම මම ඒ වගකීම් සහගත බව එයාගෙන් දැක්කා. අද වෙනකොට ඒ වගකීම් තව වැඩිවෙලා තියෙනවා.

කාංචන මානසිකව කඩා වැටෙන අවස්ථාවලදී ඒ දේවල් විසඳගන්න විදිය.

එහෙම අවස්ථා තිබිලා තියෙනවා. හැබැයි ඒ දේවල් පෙන්නන්නේ නෑ. ඒ දේවල් කියන්නෙත් නෑ. අපිට ඒ ප්‍රශ්න ගැන කියලා ඒ බරපතළකම අපිට දැනෙන්න දෙන්නෙත් නෑ. ඔක්කොම ප්‍රශ්න ඉවර වුණාම ඒ දේවල් එයාම විසඳගෙන තමයි අපිට කියන්නේ.

කාංචනගේ විවිධ දක්ෂතා

එයාට ඕනම දෙයකට දක්ෂතාව තියෙනවා. එක එක දේවල් ගූගල් එකෙන් ඉගෙන ගෙන. ඒ වගේම තව පොත්වලිනුත් ඉගෙනගෙන තියෙනවා. එයා ඇත්තටම දක්‍ෂයෙක්.

රඟපෑම නැති වුණොත් මොන ක්ෂේත්‍රය තෝරා ගනීද?

කාංචන මේ තරම් කාලෙකට ඉගෙනගෙන ආපු දේවලුත් එක්ක කවදාහරි එයාට තානාපති කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. තව තවත් දේවල් එයා ඉගෙන ගන්නවා. එයාගේ ඛ්ඍ එක ගත්තොත් එහෙම සුදුසුකම් ගොඩාක් තියෙනවා.

කාංචන අනාගතය ගැන හිතලා වැඩ කරන කෙනෙක්ද

ඔව්, හැම දෙයක්ම එයා වෙලාවට සැලසුම් කරන කෙනෙක්. මේ වනකොට එයා බබාගේ අනාගතය ගැනත් ඔක්කොම දේවල් සැලසුම් කරලා තියෙන්නේ.

ළඟම යාළුවෝ

ඉස්කෝලේ යාළුවන්ට එයා හරිම ආදරෙයි. ඒ වගේම එයා ගොඩක් ආශ්‍රය කරන්නේ ආදර්ශවත් වගේම සම්භාව්‍ය චරිත. සමාජයට හොඳ ආදර්ශ දීපු සහ සමාජයට දෙයක් කරන අයව ආශ්‍රය කරන්න කාංචන ගොඩක් කැමැතියි.

කාංචනගෙ අපි නොදන්න රහස්

කාංචන කියන්නේ ඕන කෙනෙක්ට තමන්ගේ උපරිමයෙන්ම උදවු කරන, ඒ වගේම හොඳ හදවතක් තියෙන කෙනෙක්. ඒ වගේම නිතරම හරි දේ කරන හරිම ආධ්‍යාත්මික චරිතයක්.

Comments