ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය අදයි

18

ඉදිරි දෙවසර (2019-2020) සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉදිරියට දක්කාගෙන යෑමට හැකි ප‍්‍රධාන තනතුරු හතක් වෙනුවෙන් පවත්වනු ලබන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය අද (21 දා) පෙරවරුවේදී ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වේ.

ක‍්‍රිකට් නිලවරණය වෙනුවෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිල නියෝජිතයකුටද ආරාධනා කර ඇති අතර සියලූම ඡන්ද අත් ඔසවා ලබාදීමේ ක‍්‍රමවේදය අනුව ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. එහිදී ඡන්ද හිමි අපේක්‍ෂකයන් බහුතරයකගේ මතය වන්නේ ‘වැල යන අතට මැස්ස ගැසීම’ වැනි ක‍්‍රියාදාමයක නියැළීමයි. ඔවුන් පවසන්නේ දිනන පැත්තට අපිත් ඡන්දය දීලා ඉන්නවා යනුවෙනි.

මෙවර නිලවරණය වෙනුවෙන් ජයන්ත ධර්මදාස පාර්ශ්වය ඉදිරිපත්ව සිටිද්දී එහි ප‍්‍රතිවාදීන් වන්නේ තිලංග සුමතිපාල පාර්ශ්වය වෙනුවට ඉදිරිපත්ව සිටින ඔහුගේම වෙනත් පාර්ශ්වයක් වේ. කෙසේ වෙතත් ඊයේ සවස් වනතුරුත් නිලවරණයට ඉදිරිපත්වීමට නොහැකිව සිටි මොහාන් සිල්වා පාර්ශ්වය ගොනු කර තිබු නඩු විභාගය ක‍්‍රියාත්මක වෙමින් තිබු අතර එහි තීරණය අනුව මොහාන් සිල්වාට සහ රවීන් වික‍්‍රමරත්නටද තරග කිරීමට අවස්ථාව අධිකරණ තීරණය අනුව ලාබා දුනි. 

ජයන්ත ධර්මදාස මහතා සභාපතිත්වය වෙනුවෙන් තරග වදිද්දී ඔහුගේ සෙසු සාමාජිකයන් වන්නේ උප සභාපති තනතුරු සඳහා තරග වදින අර්ජුන රණතුංග, කේ මතිවානන්, ලේකම් තනතුරට තරග වදින නිශාන්ත රණතුංග යන හිටපු ක‍්‍රිකට් පරිපාලකයන් වේ. නමුත් මොහාන් සිල්වා සහ රවීන් වික‍්‍රමරත්නට ඡන්දයට ඉදිරිපත්වීමට හැකි බව අධිකරණය විසින් තීන්දු කිරීම නිසා එම පාර්ශවය නියෝජනය කරමින් සභාපති අපේක්‍ෂක ලෙස ෂම්මි සිල්වා තරග වදින අතර ලේකම් තනතුර සඳහා මොහාන් සිල්වා තරග වදිනු ලබයි. උප සභාපති ධුරය සඳහා රවීන් වික‍්‍රමරත්න තරග වැදීමට නියමිතය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයේ ප‍්‍රධාන තනතුරු වන සභාපති, උප සභාපතිවරුන් දෙදෙනකු, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික යන තනතුරු වෙනුවෙන් මෙවර නිලවරණය පැවැත්වේ. අනතුරුව විධායක සභාව, තරග කමිටුව සහ අනිකුත් තනතුරු වෙනුවෙන් සාමාජිකයන් පත්කර ගැනීම නිලවරණයේ ජය ලබන පාර්ශ්වයේ කැමැත්ත අනුව තීරණය වේ.

ලෝකයේ වැඩිම ක‍්‍රිකට් ඡන්ද සංඛ්‍යාවක් තිබෙන ක‍්‍රිකට් නිලවරණය බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය හාස්‍යයට ලක්ව තිබේ. නවසීලන්තය සහ ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් නිලවරණවලට ඇත්තේ ඡන්ද දහයකටත් අඩු සංඛ්‍යාවකි. එංගලන්තය සහ දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් නිලවරණවලටද ඡන්ද 15 කට වඩා අඩු සංඛ්‍යාවක් තිබේ. ලොව විශාලතම රාජ්‍යයක් වන ඉන්දියානු ක‍්‍රිකට් නිලවරණයට ඇත්තේ ඡන්ද 40 කට අඩු සංඛ්‍යාවකි. නමුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයට ඡන්ද 143 ක් පමණ තිබීම හේතුවෙන් මෙය ලොව වැඩිම ඡන්ද සංඛ්‍යාවක් භාවිතා වන ක‍්‍රිකට් නිලවරණය වශයෙන් හැඳින්වේ.

මෙවර ක‍්‍රිකට් නිලවරණය වෙනුවෙන් ඉදිරිපත්වූ අපේක්‍ෂකයන් සඳහා විරෝධතා හයක් එල්ල වී තිබුණි. ජයන්ත ධර්මදාස, ෂම්මි සිල්වා, බන්දුල දිසානායක සහ ලලිත් රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ විරෝධතාවයන් අභියාචන කමිටුව විසින් ප‍්‍රතික්ෂේප කළද මොහාන් ද සිල්වා සහ රවීන් වික‍්‍රමරත්නගේ නාම යෝජනා ක‍්‍රීඩා ඇමැතිවරයාගේ බලතල ප‍්‍රකාරව ඉවත්ව තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයට තරග කිරීමට නොහැකි බව පවසමින් තහනමට ලක්ව සිටින සභාපති අපේක්‍ෂක මොහාන් ද සිල්වා සහ උප සභාපති අපේක්‍ෂක රවීන් වික‍්‍රමරත්න ගොනු කළ නඩු විභාගය ඊයේ (21 දා) විභාගයට ගත් අතර එහිදී අධිකරණ තීන්දුවක් මගින් ඔවුන් දෙදෙනාට ඡන්ද අයිතිය ලබා දෙන ලදී.

Comments