ශ්‍රී ලංකාව 20-20 ලෝක කුසලානය දිනන විදිය ගැන පුහුණුකරු හෙළි කරයි

3

ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේදී වඩා හොඳ අභියෝගාත්මක කණ්ඩායමක් බවට පත් වීමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වේගවත් තණතීරු වල ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් මීට වඩා හොඳ පුහුණුවක් ලබා ගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ තාවකාලික පුහුණුකරු රුමේෂ් රත්නායක අවධාරණය කරනවා.

20-20 ලෝක ශ්‍රේණිගත කිරීම් වල දැනට පළමු තැන සිටින පකිස්ථාන කණ්ඩායම විශිෂ්ට ලෙස පරාජය කිරීමෙන් පසුව මහත් විශ්වාසයකින් ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගී වුනත් ශ්‍රී ලංකා පිළ 3-0 ලෙස තරඟාවලිය පරාජයට පත් වූයේ අතිශයින්ම දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින්.

එම තරඟ තුනේදීම ශ්‍රී ලංකා පිළට මුළු ලකුණු 150 සීමාව ඉක්මවා යන්නට හැකි වුයේ නැහැ. වේගවත් ලකුණු රැස් කිරීමක් අත්‍යවශ්‍ය තරඟ ඉසව්වක් වුවත් අර්ධ ශතකයක් ලබා ගන්නට සමත් වුනේ කුසල් ජනිත් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ තරඟයක් දුන් බව මෙල්බර්න් පරාජයෙන් පසුව රුමේෂ් රත්නායක පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ රත්නායක මෙසේ සඳහන් කළා.

‘අපි මෙයින් හොඳ පාඩම් ඉගෙම ගත්තා. අපේ සූදානම ඉතා හොඳ මට්ටමක තිබුණේ නැහැ. එය නිදහසට කාරණයක් නෙමෙයි. නමුත් නැවත 20-20 තරඟාවලියක් සඳහා ඕස්ට්‍රේලියාවට එනවා නම් මේ පාඩම් අප මතක තබා ගත යුතුයි.

සූදානම් වීම සහ අනුගත වීම මත හැම දෙයක්ම තීරණය වනවා. ඉදිරියේදී කොතරම් පුහුණි වීම් කළත් අවම වශයෙන් 20-20 ලෝක කුසලානයට සති 6කට පෙර වත් අපි කුඩා තරඟාවලියකට හෝ සහභාගී වීම අත්‍යාවශ්‍යයි. ඒ වගේම වේගවත් ලකුණු රැස් කිරීම ගැන මීට වඩා අවධානයක් යොමු කළ යුතු බවයි. එසේ නොවුනොත් ලෝක කුසලානයේ දීත් ඕස්ට්‍රේලියානු තරඟාවලියේ මෙන් පසු බහින්නට සිදු වෙයි.

පකිස්ථාන සංචාරයේ දක්ෂතා අතරට පැමිණි ඕෂධ සහ භානුක ඕස්ට්‍රේලියානු පුහුණු තරඟයෙන් පසුව ඉවත් කර තිබුණා. පන්දු යැවීම අතින් දස්කම් පෙන්වූ ළහිරු කුමාර සහ වනිඳු හසරංග ට ද පකිස්ථාන සංචාරයෙන් පසුව නිසි තැනක් හිමි වූයේ නැහැ. 

මේ ගැන කතා කරන රත්නායක පවසන්නේ ශ්‍රී ලංකා තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් ශ්‍රී ලංකා පිළේ හැකි සෑම ක්‍රීඩකයෙක්ටම ඕස්ට්‍රේලියානු තරඟ අත්දැකීම් ලබා දෙන්නට උත්සාහ කළ බවයි.

එළඹෙන 20-20 තරඟාවලිය ඉලක්ක කරගෙන ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබා දීමට සහ වඩා හොඳ ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහාත් මෙසේ පකිස්තාන සංචාරයේ නොවූ ක්‍රීඩකයන් යොදා ගැනීම ප්‍රයෝජනවත් බව රුමේෂ් රත්නායකගේ අදහසයි. 

කෙසේ වෙතත් එළබෙන වසරේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රි ලංකාවට සුදුසුකම් ලැබීමේ තරඟයකට මුහුණ දීමට සිදු වනවා.

Comments