විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ එකඟතාවක්

4

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය එකඟ බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 දා) ජනතා විමුක්‌ති පෙරමුණට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් එජාපය පාර්ලිමේන්තුවේ සිටින්නේ එක්‌සත් ජාතික පෙරමුණ වශයෙන් නිසා එම පෙරමුණේ සිටින සුළු පක්‍ෂ සමඟ ද මේ සම්බන්ධව සාකච්ඡා කර සිය තීරණය ඉදිරි දිනක ජවිපෙට දැනුම් දීමටද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟවී ඇති බවයි වාර්තා වන්නේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ ඊයේ එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළා.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, දේශපාලන මණ්‌ඩල සභිකයන් වන විජිත හේරත් සහ වෛද්‍ය නලින්ද ජයතිස්‌ස යන මහත්වරුන් ජවිපෙ වෙනුවෙන්ද අගමැතිවරයා සමඟ මලික්‌ සමරවික්‍රම මහතා එජාපය වෙනුවෙන්ද මෙම සාකච්ඡාවට සහභාගි වූවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එජාපය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ බවද පක්‍ෂ සම්මේලනයේ දී ද මේ සම්බන්ධයෙන් තීරණයක්‌ ගෙන ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා තම කණ්‌ඩායම හමුවේ කී බවත් විජිත හේරත් මහතා ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේ පිහිටි අගමැතිවරයාගේ කාර්යාලයේ දී මෙම සාකච්ඡාව ඊයේ පස්‌වරු 2.00 ට පැවැත්වුණා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ජනතා විමුක්‌ති පෙරමුණ විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය ලබා ගත යුතුව තිබෙනවා.

මේ සඳහා සහාය ලබා ගැනීමට ජවිපෙ මේ වන විට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමඟ පසුගිය සති දෙකේදී සාකච්ඡා පැවැත්වූවා.

ඉදිරි සතිවලදී රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් සහ රිෂාඩ් බදියුදීන් යන සුළු පක්‍ෂ නායකයන් සමඟ ද ජනතා විමුක්ති පෙරමුණ සාකච්ඡා කිරීමට නියමිතය.

Comments