වසරකට පසු නැවත ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ක්‍රිකට් පිටියට එන පිතිකරු

0

තරග 2කින් සමන්විත තරගාවලියක් සඳහා නවසීලන්තයේ සංචාරයක නිරතවන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නව තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කළේය.

එම සංචිතයට වසරකට පසු පිතිකරු ළහිරු තිරිමාන්න කැඳවා ඇති අතර සදීර සමරවික්‍රම සහ ආබාධ තත්ත්වයක් හේතුවෙන් කලක් පිටියෙන් ඉවත්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ද ඇතුළත් සිටිති.

ටෙස්ට් තරග 29කට ක්‍රීඩා කර ඇති 29 හැවිරිදි තිරිමාන්න අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මස ඉන්දීයාවේදීය. ඔහු 2014/15 ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතුව නවසීලන්තයේ සංචාරය කළ ටෙස්ට් පිලටද එක්ව සිටියේය.

සදීර සමරවික්‍රම ද පසුගිය වසරේ ඉන්දියාවට එරෙහිව අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇති අතර නුවන් ප්‍රදීප් පසුගිය වසරේ ඩුබායිහිදී පාකිස්තානයට එරෙහිව අවසන් වරට ක්‍රීඩා කළේය.

ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය හිමිව ඇති ක්‍රීඩකයන් 17 දෙනකුගෙන් සමන්විත මේ සංචිතයේ නායකත්වයට ආබාධයක් හේතුවෙන් එංගලන්තයට එරෙහි අවසන් ටෙස්ට් තරග 2ක අහිමිවූ දිනේෂ් චන්දිමාල් නම් කර තිබේ.

චන්දිමාල් වෙනුවට එංගලන්තයට එරෙහිව කණ්ඩායම මෙහෙයවූ සුරංග ලක්මාල්ද කණ්ඩායමට ඇතුළත් වන අතර එහි උප නායකත්වය එංගන්ත ටෙස්ට් තරගාවලියේ සාර්ථකම පිතිකරු වූ දිමුත් කරුණාරත්නට හිමිව ඇත.

තුන් ඉරියව් ක්‍රීඩක අකිල ධනංජයට මේ සංචිතයේ ස්ථානයක් හිමිවී නොමැත. ඒ ඔහු පන්දු දමා ගැසීමේ චෝදනාවකට ලක්වීමෙන් අනතුරුව පසුගියදා ඔස්ට්‍රේලියාවේදී පරීක්ෂණයකට මුහුණදුන් අතර එහි ප්‍රතිඵල තවමත් නිකුත් වී නොමැති වීම හේතුවෙනි.

නවසීලන්තයේ වේග පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරු ඇති බැවින් මේ සංචිතයෙන් වේග පන්දු යවන්නන් 5 දෙනකුට අවස්ථාව හිමිව තිබේ.

ක්‍රිකට් ක්‍රීඩක ආචාර ධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය අහිමිවූ ළහිරු කුමාර සමගින් කසුන් රාජිත සහ දුෂ්මන්ත චමීරද ඊට එක්ව සිටිති.

චමීර මින් පෙර අවස්ථා කිහිපයකදී ටෙස්ට් සංචිතයට එක්වුවද අවසන් වරට ක්‍රීඩා කර ඇත්තේ 2016 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිවය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය මේ මස 15 වැනිදා සිට වෙලිංටන් හිදීත්, දෙවැනි තරගය 26-30 ක්‍රයිස්චර්ච් හිදීත් පැවැත්වේ.

Comments