ලසිත් මාලිංග නායකත්වයෙන් එළවා දැමීමේ සූදානමක් පිළිබඳව අනාවරණයක්

125

ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ලසිත් මාලිංග ඉවත් කිරීමේ සූදානමක් ඇති බවට ක්‍රිකට් අභ්‍යන්තර තොරතුරු ඔස්සේ අප වෙත තොරතුරු වාර්තා වෙනවා.

මාලිංග මෙලෙසින් ඉවත් කිරීම පිටුපස හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සිටින බවයි එම ආරංචි මාර්ග අපවෙත තොරතුරු වාර්තා කර සිටියේ. මේ අතර වත්මන් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ද මාලිංගට නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් එතරම් කැමැත්තකින් නොසිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට බලපෑම් කරමින් මාලිංග නායකත්වයෙන් ඉවත් කරන ලෙසට ඔහු ඉල්ලා ඇති බවත් වාර්තා වනවා.

මාලිංග මෙලෙසින් නායකත්වයෙන් ඉවත් කිරීම පිටුපස හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සමඟින් ඇතිකරගත් ආරවුලද නැවතත් මතුකර පෙන්වීමට මෙම පිරිස කටයුතු කරගෙන යන බවයි පැවසෙන්නේ.

එකල තිසර පෙරේරා වැනි ක්‍රීඩකයින් අතින් උඩ පන්දු ගිලිහී යාමත් සමඟ හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර විසින් ඔවුන්ට සෘජුව දෝෂාරෝපණ එල්ල කර සිටියදී මාලිංග එම ක්‍රීඩකයින් වෙනුවෙන් ප්‍රසිද්ධ මාධ්‍ය අදහස් දැක්වීම මෙම ආරවුලට හේතු විය. මාලිංගගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව ක්‍රිකට් ඉහළ පුටු රැසකට මෙන්ම ක්‍රීඩා ඇමතිවරයාටද ක්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි දෝෂාරෝපණ එල්ල වූ අතර එම දෝෂාරෝපණද සමඟ අවසානයේ මාලිංග හට වසර එක හමාරක් පිටියෙන් ඉවත්වීමට සිදුවූයේ එහි අතුරු ප්‍රතිඵලයක් නිසා බව කවුරුත් දන්නා රහසකි.

එවක ක්‍රීඩා ඇමතිවරයාව මුණු ගැසීමට ලසිත් මාලිංග කළ ඉල්ලීම පවා දායාසිරි ජයසේකර මහතා විසින් ප්‍රතික්ෂේක කර තිබුනේ ඉතාමත් පහත් ආකාරයෙනි. මේ සියළු බාධාවන් මධ්‍යයේ නැවත පිටියට පිවිසි මාලිංග නැවතත් ඔහුගේ සුපුරුදු දස්කම් දක්වමින් කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟින් ගමනක් යන්නට මේ වන විටත් සූදානමින් සිටියි. ඔහු මේ වන විට පැවැත්වෙන IPL තරඟාවලිය අතරතුර නැවත ලංකාවට පැමිණි ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වූ පළාත් තරඟ සඳහා සහභාගී වූයේ කෙසේදැයි ඔබ අප කවුරුත් දන්නා සිද්ධියකි. රාත්‍රියේ මුම්බායි පිලට ක්‍රීඩා කරමින් එම පිලට ජයගෙන දුන් මාලිංග පසුදා උදෑසන ලංකාවට පැමිණ ගාලු කණ්ඩායම සමඟින් එක්වී කඩුලු 7ක් දවාගෙන එය තරඟයද ජයගැනීමට සමත්විය.

මෙලෙසින් එක් දිනක් තුල රටවල් දෙකක ක්‍රීඩා කරමින් දස්කම් දැක්වූ වෙනත් ක්‍රීඩකයෙකු ගැන ඔබ මින් පෙර අසා නොමැති බව අපගේද විශ්වාසයයි. මෙවැනි තත්වයක් තුළ හිටපු ක්‍රිකට් සභාපතිවරයා හා ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දුද තේරීම් කමිටුවට දැඩි බලපෑමක් එල්ලකරමින් පවසා ඇත්තේ ලසිත් මාලිංග හට නායකත්වය ලබා නොදී වෙනත් අයෙකු ඒ වෙනුවෙන් තෝරා පත්කරගන්නා ලෙසයි.

මේ අතර ඇන්ජලෝ මැතිව්ස්ද හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ නායකත්වය භාර නොගන්නා බවට මේ වන විට දැනුම් දී තිබේ. මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා පිලට සරිලන්නේ නැති බවට පසුගිය කාලයේදී හතුරුසිංහ පවසා සිටි අතර මේ මතගැටුමේ ප්‍රතිඵලයක් ලෙසින් මැතිව්ස් මෙම තීරණය එළෑඹ ඇතැයිද වාර්තා වේ.

එමෙන්ම මේ වන විට තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් විසින් ලසිත් මාලිංගව කණ්ඩායමෙන් ඉවත් කිරීමේ මෙහෙයුම ආරම්භ කර ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තොරතුරු හෙළිකරගෙන තිබේ. එයට හොඳම උදාහරණය වන්නේ ලෝක කුසලානය සඳහා සහභාගී වන ක්‍රීඩකයින්ගේ ගිවිසුම් අත්සන් කිරීමයි. එම ගිවිසුම මේ වන විටත් අත්සන් කර ඇත්තේ ලසිත් මාලිංග පමණක් වන අතර අනෙක් ක්‍රීඩකයින් සියළු දෙනා එය ප්‍රතික්ෂේප කර තිබේ.

මීට වසර 3කට පෙර (ඇන්ජිගේ නායකත්වය යටතේ) අත්සන් කළ ගිවිසුම සමඟින් ශ්‍රී ලංකා පිල මෙවර ලෝක කුසලානයට සහභාගී වන්නට සූදානම් වන අතර ඒ පිළිබඳවද ක්‍රීඩකයින් එතරම් සතුටකින් පසු නොවන බවයි දැනගන්නට ලැබෙන්නේ.

ලෝක කුසලානය අභිමුව තිබියදී හිටපු සභාපතිවරයාත් ක්‍රීඩා ඇමතිවරයාත් මෙලෙසින් තේරීම් කමිටුව වෙත පීඩනයක් එල්ල කරමින් සිදුකරන්නට යන්නේ වැටී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් අගාදයකට තල්ලු කිරීම නොවේදැයි ඔබ අප කවුරුත් සිතිය යුතුය. තම තනතුරෙන් ඉවත්ව ගියද තමන්ගේ නියෝජිතයින් එම පිටුවලට පත්කර ගනිමින් තිලංග සුමතිපාල නැවත නැවතත් සිදුකරන්නේ ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයින්ගෙන් පන්නා පන්නා පලි ගැනීම නොවේදැයි ඔබට කිව හැකිද ? එවැනි මිනිසුන් සමඟින් එක්ව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ද මේ සිදුකරන්නට යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් අගාධයකට ඇද දැමීමයැයි අප පවසා සිටින්නේ ඒ නිසාය.

මේ අතර ICC විසින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පිළිබඳවම පරීක්ෂණ සිදුකර එහි අවසන් අදියරට පැමිණ ඇති බවත් නුදුරේදීම එහි ප්‍රතිඵල මාධ්‍ය වෙත දැනුම් දීමටත් කටයුතු කරමින් සිටින බවට විශ්වාස ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙමින් පවතී.

Comments