රනිල්ට මෛත්‍රීගෙන් ආරාධනාවක්

2

පසුගිය 26 වැනි සිකුරාදාවෙන් ආරම්භ වූ රටේ දේශපාලන අස්ථාවරත්වය පාර්ලිමේන්තුවේ හැසිරීම තුළින් රටම දුටුවේය. මේ අස්ථාවර දේශපාලන තත්ත්වයට විසඳුම් ලබාගැනීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් වුවත් එම එකම යෝජනාවක්වත් සාර්ථක වූයේ නැත. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයට කැඳවූවේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාගැනීමේ අපේක්ෂාව ඇතිවය. අගමැති මහින්ද රාජපක්ෂගේ උපන්දිනයදා කැඳවා තිබූ මේ සාකච්ඡාවට සහභාගී නොවන බව කථානායක කරු ජයසූරිය කල් ඇතිවම නිවේදනය කළේය.

ඉන් පසුව කරළියට පැමිණියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකය. ඔහු පැවැසුවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය නොවන බවය. මෛත්‍රී සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කර තිබූ ඔහු කියා තිබුණේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදවලට හේතුව මෛත්‍රී බවය. ඔහු ඒ බව ලිඛිතව මෛත්‍රීට දැනුම් දුන්නේය.

විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වෙලා තියෙනවා. ඒකට ජනාධිපතිතුමාගේ කණ්ඩායම තමයි බාධා කළේ. විශ්වාසංභග යෝජනාව පරාජයට පත්වුණ බව පිළිගන්නේ නැතිව නමින් ඡන්දය ගන්න එකටත් බාධා කළේ ජනාධිපතිතුමාගේ මන්ත්‍රීවරු. විධිමත්ව සම්මත වෙලා තියෙන විශ්වාසභංග යෝජනාව පිළිගන්නේ නැතිව විවිධ බාල ගණයේ නිදහසට කරණු ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයෙක්ට තරම් වෙන්නේ නෑ. පාර්ලිමේන්තුවේ ඇතිවෙලා තිබෙන තත්ත්වයට වගකියන්න ඕන ජනාධිපතිතුමාගේ හිතුවක්කාරී හැසිරීම. රටේ ඇතිවෙලා තිබෙන අස්ථාවරත්වයේ නිර්මාතෘවරයා වෙන්නේ ජනාධිපතිතුමා. ඒ තත්ත්වය වෙනස් කිරීමට පුළුවන් වෙන්නේත් ජනාධිපතිතුමාට. ඒ නිසා ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරන එකේ ප්‍රතිඵලයක් නෑ අනුර කුමාර පක්ෂ ‍ලේකම්වරයාට උපදෙස් දුන්නේ මෙම කරුණු ඇතුළත් කරමින් ලිපියක් මෛත්‍රීට යවන ලෙසය.

ඒ අනුව කඩිනමින් සකස් කළ ලිපිය ජනාධිපති ‍ලේකම් කාර්යාලයට භාරදුන්නේය.

නිවසේ සිට සිය උපන්දිනය සැමරූ මහින්ද රාජපක්ෂ ඉරිදා සවස ජනාධිපති ‍ලේකම් කාර්යාලයට පැමිණියේ සර්ව පාක්ෂික සමුළුවට එක්වීමටය. ඔහු සමග දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල හා විමල් වීවරංශ ද වූහ.

මේ සාකච්ඡාවට කථානායකතුමයි, ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමයි එන්නේ නෑ කියලා දැනුම් දීලා තියෙනවා. අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එනවා නම් ඒක නියම ක්‍රමවේදය අනුව අරගෙන එන්න ඕන. ස්ථාවර නියෝග අත්හිටුවලා ඒක අරගෙන ඇවිත් හරියන්නේ නෑ. මමත් පාර්ලිමේන්තුවේ හිටියා. මම හිටපු සභානායක. විශ්වාසභංග යෝජනාවක් ගේනවා නම් ඒක ස්ථාවර නියෝග අනුව විනිවිදභාවයකින් ඒක අරගෙන එන්න. නමින් හරි ඉලෙටේ‍රානික් ක්‍රමයට හරි ඡන්දය අරගන්න. ව්‍යවස්ථානුකුලව හරි ක්‍රමයට මේවා අරගෙන එනවා නම් මම ඒ අනුව කටයුතු කරන්නම් මෛත්‍රී සාකච්ඡාව ආරම්භ කරමින් පැවැසුවේය.

දැන් ජනාධිපතිතුමා මේක පාර්ලිමේන්තුවේ වෙලා ඉවරයි. පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් සම්මත කරගත්තා. ඒක කථානායකතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළා. ඒ නිසා දැන් මේක හරවන්න බෑ. එහෙම නම් පාර්ලිමේන්තුවට මෝසමක් ගෙනැත් තමයි මේක කරන්න වෙන්නේ රවුෆ් හකීම් ඉන් පසුව අදහස් දැක්වීමට ගත්තේය.

හකීම් කතා කරමින් සිටිනවිට උදය ගම්මන්පිල හැන්සාඩ් වාර්තාවක් තමන්ගේ ලිපි ගොනුව අතරින් ඇද ගත්තේය.

මේ තියෙන්නේ හැන්සාඩ් වාර්තාව. මේකේ විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණා කියලා නෑ. මේකේ තියෙන්නේ බහුතරයක් නෑ කියලා විතරයි. හඩෙන් බහුතරයක් නෑ කියලා කියනවා කියලා තමයි තියෙන්නේ උදය කීවේ හැන්සාඩ් වාර්තාව ඉහළට කර පෙන්වමිනි.

බොරු කියන්න එපා. මේක පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙන්නේ අජිත් පී. පෙරේරා උදයට අභියෝග කළේය.

හරි… එහෙනම් හැන්සාඩ් ඒකේ තියෙනවා පෙන්වන්නකෝ ගම්මන්පිල නැවත හැන්සාඩ් වාර්තාවේම එල්ලෙමින් කතා කළේය.

හැන්සාඩ් වාර්තාව තවම ෆයිනල් වෙලා නෑ. ඒක ෆයිනල් කරාට පස්සේ තමයි පිළිගන්න පුළුවන් වෙන්නේ අජිත් උදය සමග පැටලුනේය.

උණුසුම් වාද විවාද යද්දී මහින්ද සහ රනිල් ඒ දෙස බලා සිටියා මිස කිසිවක් කියන්න ගියේ නැත.

අගමැතිතුමායි, එක්සත් ජාතික පක්ෂයේ නායකතුමයි ඉන්න එකේ නරකද මෙතැනදී මොකක් හරි අදහසක් දැක්වුවොත් මෛත්‍රී මහින්දට හා රනිල්ට අදහස් දැක්වීමට අවස්ථාව දුන්නේය.

මේවා බලෙන් කරන්න බෑ. මට විරුද්ධව මොනවා හරි තියෙනවා නම් හරි විදියට ඒවා අරගෙන එන්න. විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕන නම් නියමිත ක්‍රමයට ගේන්න. මට විරුද්ධව මොනවා හරි තියේනම් ඉස්සරවෙලාම ඒක මට දෙන්න එපායැ. මමවත් ඔය කියන විශ්වාසභංග යෝජනාව දැක්කේ නෑ. මට විරුද්ධව මේකේ තියෙන්නේ මොනවදො කියලා බලාගන්න ඕක මට දෙන්න එපායැ. හරි විදියට ගෙනැත් පෙන්නුවොත් මම යන්න ලෑස්තියි මහින්ද කීවේය.

බහුතරය තියෙනවා නම් ඒක පෙන්වන්න ඒ අතර විමල් ද අභියෝගයක් කළේය.

හරි. අපි බහුතරය අරගෙන එන්නම්. බහුතරය අපිට දැනුත් තියෙනවා. හෙට උදේට අපි මන්ත්‍රීවරු එකසිය විසි දෙන්නෙක් එක්ක ජනාධිපති ‍ලේකම් කාර්යාලයට එන්නම්. අපි ඒ හැමෝගෙම දිවුරුම් පෙත්සම් අරගෙන එන්නම් අජිත් පෙරේරා විමල්ට තවත් අභියෝගය කළේය.

මොකද ජනාධිපතිතුමා කියන්නේ. අපි අරගෙන එන්නද අජිත් පෙරේරා අසන විට මෛත්‍රී එයට සෘජු පිළිතුරක් දෙන්න ගියේ නැත.

මෙච්චර වෙලා එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා කිසිම දෙයක් කිව්වේ නෑනේ මෛත්‍රී කීවේ රනිල්ට කතා කිරීමට අවස්ථාවක් දෙමිනි.

මේක හදිසියේම සිකුරාදා අරගෙන එන්නේ නැතිව සඳුදා අරගෙන එන්න තිබුණා රනිල් කීවේය.

මේක හදිසියේම අරගෙන ආපු එක ගැන ගැටලුවක් තිබෙනවා නම් තමයි. ඔබතුමා පාර්ලිමේන්තුව කැඳවලා හදිසියේම පාර්ලිමේන්තුව කල් දාවි කියලා තමයි අපි හිතුවේ. අපිට 14 වැනිදා විතරයි තිබුණේ. ඒ නිසා තමයිි කලබ‍ලේට අපි මේක අරගෙන ආවේ හකීම් කීය.

මම කිසිම විදියකට ආයිමත් පාර්ලිමේන්තුව කල් තියන්නේ නෑ. මම ඒක කලිනුත් කියලා තියෙනවා. ඒ නිසා ඔයාලා නියමිත ක්‍රමවේදයට අරගෙන එන්න මෛත්‍රී කීවේය.

ඉදිරිපත් කරලා තියෙන යෝජනාවේ පළමු කොටස ඉවත් කරන්න. ඒකේ තියෙන්නේ මම සම්බන්ධයෙන්. ඒ කොටස ඉවත් කරලා නියමිත ක්‍රමවේදය අනුව අරගෙන එන්න මෛත්‍රී කීවේ සාමකාමීව පාර්ලිමේන්තුව රැස්වන ලෙස දැනුම් දෙමිනි.

මෛත්‍රීගෙන් උපන්දින කේක්

සර්ව පාක්ෂික සමුළුව අවසන් වුවත් මහින්දට ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් පිටත් වීමට මෛත්‍රී අවස්ථාවක් දුන්නේ නැත. මහින්ද වෙනුවෙන් යමක් සූදානම් කර ඇති බව කී මෛත්‍රී, මහින්ද ‍ලේකම් කාර්යාලයේ ඇතුළත කාමරයකට රැගෙන ගියේය.

ඒ වන විට එහි තිලංග සුමතිපාල, එස්.බි. දිසානායක, ලසන්ත අලගියවන්න ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් වූහ. ඔවුන් පැමිණ සිටියේ කේක් ගෙඩියක්ද රැගෙනය. එම කේක් ගෙඩිය සූදානම් කර තිබුණේ මහින්දගේ උපන්දිනය වෙනුවෙන්ය.

අද මහින්ද මහත්තයාගේ උපන්දිනයනේ. අපේ අය උපන්දිනය සමරන්න කේක් කපන්න ඕන කිව්ව නිසා අපි කේක් ගෙනාවා යැයි කියමින් මෛත්‍රී උපන්දින කේක් කැපීමට එක්විය.

මේ අතර පසුගිය සතියේදී බොදුබල සේනාවේ හිමිවරු පිරිසක් ජනාධිපති ‍ලේකම් කාර්යාල අසලට පැමිණියහ. ඒ මේ වන විට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා සිටීමේ සංදේශයක්ද රැගෙනය. එහෙත් ඔවුන්ට ජනාධිපති ‍ලේකම් කාර්යාලය වෙත පැමිණිමට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ ඔවුන් ඉලක්ක කරගෙන කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල වීම නිසාය.

මේ බව ආරංචිවූ තිලංග ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව ලබාදුන්නේය.

කඳුළු ගෑස් ගහපු එකට සමාවෙන්න හාමුදුරුවනේ. මම ඒක ගැන කනගාටුව පළ කරනවා. මට කලින් කිව්ව නම් මේ වගේ දෙයක් වෙන්න දෙන්නේ නෑ මෛත්‍රී සහතිකයක් දුන්නේය.

නාමල්ගේ ට්විටර් පණිවුඩ

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන්ගේ ට්විටර් ගිණුමේ සිය දේශපාලන අදහස් පළ කිරීමට දැඩි උනන්දුවෙන් කටයුතු කරන අයෙකි. පසුගිය සතියේදී ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එක්සත් ජාතික පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ හා දෙමළ ජාතික සන්ධානයේ මැති ඇමැතිවරු තානාපතිවරු හමුවීමට හේතු ගැන විමසා තිබුණේය. සාමාන්‍යයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් සමාජ ජාලා ගිණුම් ඔස්සේ මෙවැනි අදහස්වලට ප්‍රතිචාර නොදක්වන නමුත් මෙරට සිටින කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැක් කිනොන් නාමල්ට ට්විටර් ඔස්සේම ප්‍රතිචාර දක්වා තිබුණේය.

ඔබ ඔබේ ‍පොදුජන පෙරමුණේ සගයින් හමුවී ඔවුන් හමුවන්නේ කවුරුන්ද යන්න ගැන විමසිය යුතුයි කැනඩා මහ කොමසාරිස්වරයා ප්‍රතිචාර දක්වා තිබුණේය.

ඉන් පසුව එම සංවාදයට එක්වී තිබුණේ ජර්මානු තානාපති ජොරෙන් රෝද්ය.

කැනඩා මහ කොමසාරිස්වරයා ඇතුළු අනෙක් රාජ්‍යතාන්ත්‍රික සමාජය මේ තරම් අසාධාරණ ලෙස විවේචනය කරන්නේ ඇයි? මමත්, කැනඩා මහ කොමසාරිස්වරයාත් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයි දුසිමකට වඩා වැඩි පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින ඇමැතිවරු හා මන්ත්‍රීවරු සිව් දෙනෙක් හමුවුණා. ඔවුන්ගේ ඉල්ලීම මතයි එම හමුවීම සිදුවුණේ. ඔවුන් එම හමුව රහසිගතව පවත්වා ගන්නා ලෙස කළ ඉල්ලීම අපි ගරු කළා ජර්මන් තානාපතිවරයා නාමල්ගේ ට්විටර් පණිවුඩ සඳහා සෘජු ප්‍රතිචාරයක් දැක්වීමට කටයුතු කර තිබුණි.

ගරු තානාපතිතුමනි, තානාපති සමාජය විවේචනය කිරීමට කිසිදු ලෙසකින් අදහස් කළේ නෑ නාමල් අවසානයේ සිය ට්විටර් පණිවුඩයට ප්‍රතිචාරයක් දැක්වීමට සිදුව තිබුණි.

ඩලස් විරුද්ධ පැත්තේ

පාර්ලිමේන්තුව විසුරවාහැරීමට අදාළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පවරා ඇති පෙත්සම් විභාගයට පෙර ඉවත් කරගැනීමේ ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු යැයි එස්.බි. දිසානායක ඇමැතිවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේය. එහෙත් ඒ ගැන වෙනත් කිසිවෙක් දැන සිටියේ නැත. මේ නිසා ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඒ ගැන සොයා බලන්නට වූහ.

එක් අයෙක් මහින්දටත් ඒ ගැන විමසමින් දුරකථන ඇමතුම් දී තිබුණේය.

මම දන්නේ නෑ. ජනාධිපතිතුමා එහෙම කියන්න කියලා එස්.බි. ට කිව්වද කියන්න නම් දන්නේ නෑ මහින්ද කීවේය.

ඒ වුණාට සර් එහෙම කරන්න බෑනේ ඔවුහු පැවැසූහ.

අපි මේක එස්.බි. එක්ක කතා කරමු මහින්ද යෝජනා කළේය.

ඒ අනුව සිකුරාදා උදෑසන පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේදී රැස්වූ ආණ්ඩු පක්ෂ කණ්ඩයම් රැස්වීමේදී මේ ගැන කතාව ඇදී ආවේය. ඊට පෙර ඔවුන්ගේ අවධානය යොමුවූයේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කෙරෙහිය.

අද අපි මොකද කරන්නේ මහින්ද ඇසුවේය.

අද අගමැති වැය ශීර්ෂය කප්පාදු කරන යෝජනාව ඉදිරිපත් කරන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් කීවේය.

තේරීම් කාරක සභාවල බහුතරය අපිට නොදී ඉන්න තමයි සැලසුම් කර තිබෙන්නේ. මේ අය මොනවා හරි කරලා ඡන්ද විමසීමකට යන්න හදනවා. ඡන්ද විමසීමකට ගිහින් එකසිය විසිගාණක් පෙන්වන්න හදනවා. මේවා නැවත නැවත වෙන්න ඉඩ දෙන්න ඕන නෑ. අපි මේකට විරෝධය දක්වමු දිනේෂ් යෝජනා කළේය.

ඉන් පසුව කාගේත් අවධානය යොමුවූයේ එස්.බි. දෙසටය.

අපි පාර්ලිමේන්තු ඡන්දයක් ඉල්ලන්නේ. එහෙම තිබියදී පළාත් සභා ඡන්දයක් ඕන කියලා එස්.බි. කිව්වේ ඇයි? කවුද මේක කියන්න කියලා කිව්වේ? ජනාධිපතිතුමාද? අගමැතිතුමාද? මහින්ද යාපා අබේවර්ධන කතා කළේ ආවේගයෙන් යුතුවය.

මෙහෙම කතා කරපු එක වැරදියි ඩලස් අලහප්පෙරුම සිටියේත් එස්.බි.ට විරුද්ධ පැත්තේය.

ඒක එහෙම නමෛයි. අපිට දැන් ඕන 113 පෙන්වන්නයි. ඡන්දයක් තියෙනවා කියලා කියපු ගමන් කවුරුවත් මේ පැත්තට එන්නේ නෑ. ඒකට බයයි. ඡන්ද තියනවා කියලා අපි බය කරන්න ඕන නෑ. ඒ නිසා තමයි මම ඒ කතාව කිව්වේ එස්.බි. පැවැසුවේය.

කවුරුවත් නොකියපු දේවල් කිව්වේ ඇයි මැති ඇමැතිවරු විමසූහ.

ඔයාලා මෙතැන දෙපැත්තට බෙදිලා ගහගන්නවා. ඒකෙන් වෙන්නේ අපි වැටෙන එක. අපි නඩු තීන්දුව එනකම් බලාගෙන ඉමු. තීන්දුව අනුව අපි වැඩ කරමු. ජනාධිපතිතුමා තමයි මම අගමැති විදියට පත් කළේ. ආණ්ඩුව විසුරවාහැරියේත් ජනාධිපතිතුමායි. ජනාධිපතිතුමාගේ තීන්දුවක් නැතිව කවුරුවත් කතා කරන්න එපා. මීට පස්සේ එක මතයක ඉඳලා වැඩ කරන්න මහින්ද අවසානයේදී කීවේය.

කවුරුන් ගණන් නොගත් වසන්තගේ පිම්ම

පසුගිය සතියේ දී සජිත් සමග එකට සිටිමින් ලිපියක් ලියමින් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව කී වසන්ත සේනානායක මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමට පැමිණියේය. ඒ සජිත්ට දුන් ‍පොරොන්දුවත් අමතක කරමිනි.

මේ සතියේ රනිල් හමුවීමට පැමිණි මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුවී තිබුණේද වසන්ත සේනානායකගේ පිම්මටය.

මේ වසන්ත සේනානායක එහේ යනවා. මෙහේ යනවා. මේක හරි විකාරයක් වෙලානේ. දේශපාලනඥයන් මේ වගේ හෑල්ලුවට ලක්වෙච්ච අවස්ථාවක් මම දැක්කේ නෑ චමින්ද විජේසිරි කීවේ රනිල් ඉදිරියේදීමය.

නෑ.. නෑ.. වසන්ත ගැන බයවෙන්න දෙයක් නෑ. එයා හැමදාම දිනන පැත්තේ. පවතින ආණ්ඩුවේ ඉන්න කෙනෙක්. එයාගේ ආකල්පය ඒකනේ. එයාට ඕන තමන්ගේ පළාතේ ඉන්න ජනතාවට සේවයක් කරන්නයි. අපි බහුතරයක් පෙන්නනකොට වසන්ත විතරක් නමෛයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හුඟක් අය අපිත් එක්ක හිටගනීවී හේෂා විතානගේ මන්ත්‍රීවරයා එයට උත්තර බැන්දේය.

දැන් තියෙන ප්‍රශ්නය වෙන්නේ ජාත්‍යන්තර බලපෑම්වලට මේ ආණ්ඩුව මුහුණ දෙන්නේ කොහොමද කියන එකයි. ඒ නිසා ආණ්ඩුවේ අය ඉන්නේ ලොකු ප්‍රශ්නයක. දැන් මෛත්‍රී පාර්ශ්වයයි, මහින්ද පාර්ශ්වයි අතර ‍පොඩි ‍පොඩි ප්‍රශ්න එනවාලු ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

අද චැනල් 4 රූපවාහිනී නාලිකාවෙන් මාව ඉන්ටර්විව් කළා. ඒ අය සේරම ඇහුවා. මම සේරම එකිනෙකට පැහැදිලි කළා. ඒක ජාත්‍යන්තරයට ලංකාවේ තිබෙන අවිනිශ්චිත දේශපාලන හා ආර්ථික ව්‍යවසනය ගැන කදිම පණිවුඩයක් වේවි රනිල් කීය.

දැන් මේ අය ලබන 29 වැනිදා පාර්ලිමේන්තුවේ ජෝගි නැටුවොත් මොකද වෙන්නේ රන්ජන් විමසුවේය.

අපි 29 වැනිදා අනුගමනය කරන්නේ ජනාධිපතිතුමා අපෙන් කළ ඉල්ලීම හා ක්‍රමවේදයයි. එදාටත් ඉතිං කඩාකප්පල් කළොත් මුළු ලෝකයම මොකද වෙන්නේ කියලා බලාවි. එදාට පාර්ලිමේන්තුව අවුල් කළොත් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මේ රටේ ජනතාව විතරක් නමෛයි මුළු ලෝකයම ඒකට එරෙහි වේවි රනිල් කීවේය.

මේ ගතවුණ දින තිහේදී රටේ ආර්ථිකය හොඳටම අවුල් වෙලා. රුපියල් කෝටි තුන්දහස් දෙසීයක් කොටස් වෙළෙඳ‍පොළෙන් සමාගම් ඉවත් කරගෙන. ආයෝජන සම්පූර්ණයෙන්ම නැවතිලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ ණය තහනම් කරලා. ඇමෙරිකානු ආධාර හා ජපානයේ ආධාර මත කණුමත දුවන දුම්රිය ව්‍යාපෘතියත් නතර කරලා. ජී.එස්.පී. ඉදිරියේදී නතර වේවි. ඉස්සරහට අපිට කළු කඩවලින් තමයි තෙල් ගන්න වෙන්නේ දයා ගමගේ ආර්ථික තත්ත්වය ගැන පැහැදිලිි කළේය.

දැන් නීත්‍යනුකූල රජයක් හෝ අගමැති කෙනෙක් නැති බව කථානායක නිල වශයෙන් ජනාධිපතිට දැනුම් දීලා තියෙනවා. ඒ සියල්ලම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවෙලා තියෙනවා. ඒක වෙනස් කරන්න නම් බහුතර බලයකින් හෝ යෝජනාවකින් සම්මත කරගන්න ඕන. පුළුවන් නම් එහෙම කරන්න කියලා අපි මහින්දට අභියෝග කරනවා. ඒ විතරක් නමෛයි, දැන් මේ රටේ කැබිනට් එකක් නෑ. මේ අය බලෙන් ඉන්නේ ජනාධිපතිගේ හයිය පාවිච්චි කරලයි. බහුතරයක් නැති ආණ්ඩුවක් පවත්වාගෙන යන්න ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් ඉඩක් නෑ රනිල් කීවේ තීරණාත්මකවය.

Comments