රටම බලා සිටින මැතිවරණ අද නොවේ හෙට ?

12

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේදී පළාත් සභා ඡන්ද සිල්ලර ක්‍රමයට පත් වූයේය. එක්‌ පළාත් සභාවක්‌ ජයග්‍රහණයක්‌ කළ පසු ඊළඟ පළාත් සභාව සඳහා නාමයෝජනා කැඳවිණි. යුද ජයග්‍රහණයෙන් වාසිදායක තත්ත්වයක්‌ රටේ නිර්මාණය වී තිබීමෙන්, 2/3 ක බලයක්‌ සහිත ප්‍රබල රජයක්‌ මහින්ද රාජපක්‍ෂ මහතාට තිබීම නිසාත් ඔහු බිය නැතිව මැතිවරණ පැවැත්වූයේය. එවිට විපක්‍ෂයේ සිටි එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ අනෙකුත් පක්‍ෂවල චෝදනාව වූයේද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මුදල් නාස්‌ති කරමින් පළාත් සභා ඡන්ද වරින්වර පවත්වන බවයි.

එදා පළාත් සභා ඡන්දය ගැන විවේචනය කළ අද ආණ්‌ඩු පක්‍ෂයේ සිටින එජාපය ප්‍රමුඛ ආණ්‌ඩුවට පක්‍ෂපාතී පක්‍ෂ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන මුකුත්ම කියන්නේ නැත. කසාය බීපු ගොළුවන් සේ ඔවුහු මුනිවත රකිති.

බස්‌නාහිර පළාත් සභාවේ නිල කාලය හෙටින් (21 දා) අවසන් වනු ඇත. ඌව පළාත් සභාවේ නිල කාලය සැප්තැම්බර් මාසයේ අවසන් වීමට නියමිතය. ඒ නිසාම ඌව පළාත් සභාවත් විසුරුවා හැර ආණ්‌ඩුවට වුවමනා නම් පළාත් සභා ඡන්දය එකවර (තොග පිටින්) පැවැත්විය හැකිය.

පළාත් සභා මැතිවරණය ලබන මැයි 31 ට පෙර පවත්වන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය දිනක කැබිනට්‌ මණ්‌ඩලයට කැබිනට්‌ පත්‍රිකාවක්‌ ද ඉදිරිපත් කර තිබිණි. මේ පිළිබඳව තීරණයක්‌ ගැනීමට කැබිනට්‌ මණ්‌ඩල පක්‍ෂ නායකයන්ට පවරන ලදී.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පක්‍ෂ නායක රැස්‌වීමක්‌ ද පැවැත්විණි. මෙම කාරණය ගැන නීතිපතිවරයාගේ මෙන්ම මැතිවරණ කොමසාරිස්‌වරයාගේ මතය විමසිය යුතු බව කථානායකවරයා පවසා තිබිණි. කෙසේ හෝ දවසින් දවස පළාත් සභා මැතිවරණ කල් යැම මිසක්‌ පවත්වන බවක්‌ පෙනෙන්නට නැත. විසුරුවා හැර ඇති පළාත් සභා දැන් පාලනය කරනුයේ ආණ්‌ඩුකාරවරයන් විසිනි. ආණ්‌ඩුකාරවරු කීපදෙනෙකුට මෙම පළාත් සභා පාලනය කළ හැකි නම් එක අතකින් කෝටි ගණනක්‌ වියදම් කරමින් මෙම පළාත් සභා පවත්වාගෙන යන්නේ අහවල් කෙංගෙඩියකට දැයි අපටනම් තේරෙන්නේ නැත.

මේ වනවිට අනාවරණය වී ඇති කරුණු අනුව බස්‌නාහිර පළාත් සභා මැති ඇමැතිවරු සහ නිලධාරීන් වසර පහක්‌ ඇතුළත ජනතා බදු මුදල්වලින් අටකෝටි පනස්‌ ලක්‍ෂයක්‌ වියදම් කර රට සවාරි ගොස්‌ ඇත. මෙම මුදලිනුත් හාරකෝටි විසිපන්ලක්‍ෂයක්‌ වියදම් කර ඇත්තේ මැති ඇමැතිවරුන් විසිනි. බස්‌නාහිර පළාත් සභාව පමණක්‌ නොව, වෙනත් පළාත් සභාවල තත්ත්වය ද මෙසේමය. මේ අය රට සවාරි යන්නේ විවිධ ව්‍යාපෘති අධ්‍යයනයට යෑයි පවසමිනි. විශේෂයෙන් වෙනත් රටවල් කුණු ප්‍රශ්නය විසඳීම සඳහා ගෙන ඇති පියවර අධ්‍යයනය කිරීමට අපේ මැති ඇමැතිවරුන් බුරුතු පිටින් ගියද පළාත් මට්‌ටමින් කැළි කසළ ප්‍රශ්නයට විසඳුම් සොයාගැනීමට උන්දැලාට හැකිවී නොමැත.

පළාත් සභා පිළිබඳව අපේ විවේචනය එසේ වුවද ප්‍රායෝගික වශයෙන් ගත් කල පළාත් සභා ක්‍රමය මෙරටින් තුරන් කිරීමට රජයට හෝ වෙනත් පාර්ශ්වවලට උවමනාවක්‌ ඇතැයි අපට නොපෙනේ. ඒ නිසාම විසිරුවා හැර ඇති පළාත් සභාවල ඡන්ද පැවැත්වීමට රජය සාධනීය පියවරක්‌ ගත යුතුය. මැතිවරණ කොමිසම ස්‌ථාපිත කරනු ලැබුයේ කලට වේලාවට මැතිවරණ පැවැත්වීමටය. මැතිවරණ කොමසාරිස්‌වරයා පවසන අයුqරින්ම මැච් එක ගැසීමට නම් පිච් එක සාදා දිය යුතුය. පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැටලුකාරී වී ඇත්තේ සීමානීර්ණය සමාලෝචන කමිටු වාර්තාව මේ වනතෙක්‌ ඉදිරිපත් නොවුණු නිසාය. ඒ ගැන අදාළ පාර්ශ්ව ඉක්‌මන් පියවර ගත යුතුය. අලුත් ක්‍රමයට (කොට්‌ඨාස ක්‍රමය) හෝ පැරණි ක්‍රමයට (සමානුපාතික ක්‍රමය) පළාත් සභා ඡන්දය පැවැත්වීමට රජය පියවර ගත යුතුය. ඡන්දය ජනතාවගේ අයිතිය ය. එය පැවැත්වීම රජයේ වගකීමකි. එසේ නොමැතිව මැතිවරණ සිතියම හැකිලීමෙන් යහපතක්‌ වේ යෑයි කවුරුන් හෝ සිතන්නේ නම් එය අනුවන කමකි.

Comments