රටම කතාවෙන ඔඩුදුවන අර්බුදයේ අවසන් විසඳුම ?

4

අපේ රටේ අභ්‍යන්තර කටයුතු සඳහා මේ තරමට විදේශ රටවල් ඇඟිලිගසන ලද කාලයක් අපට මතකයේ නැත. ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා රටවල තානාපතිවරු දිගින් දිගටම අපේ රටේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් වෙමින් සිටින්නේ අතිශය ආක‍්‍රමණකාරී ආකාරයකටය. මෙම තානාපතිවරු විටෙක ජනාධිපතිවරයා හමුවෙති. තවත් විටෙක කථානායකවරයා හමුවෙති. තවත් විටෙක පක්ෂ නායකයෝ හමුවෙති. තවත් විටෙක පාර්ලිමේන්තුවට යති. තවත් විටෙක රටට අහිතකර ප‍්‍රකාශ නිකුත් කරති.

1961 අපේ‍්‍රල් මාසයේ 18 වැනිදා අත්සන් තබන ලදුව එම මාසයේම 24 වැනිදා සිට ක‍්‍රියාත්මක වන වියනා සම්මුතිය අනුව වෙනත් රටක් අභ්‍යන්තර කාරණා සම්බන්ධයෙන් මැදිහත්වීමට හා ඒ සම්බන්ධ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ නිකුත් කරන්නට තානාපතිවරුන්ට අයිතියක් නැත. ශ‍්‍රී ලංකාව නිදහස් ස්වෛරී රාජ්‍යයකි. අප කාගෙවත් යටත් විජිතයක් නොවේ. අපේ රටේ මතුව තිබෙන දේශපාලන අර්බුදයට විසඳුම් ලබා ගත යුත්තේ අපේ රට තුළින් හා අපේ රටේ ජනතාවගේ මැදිහත්වීම තුළ බව අපගේ විශ්වාසයයි. ඒ සඳහා බටහිර රටවල් කලබල වියයුතු නැත. එම නිසා ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ වපසරිය කුමක් දැයි වහාම ඔවුන් කැඳවා ඔවුන්ට අවවාද කිරීමට ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කළ යුතුව තිබේ. එම අවවාදයද නොපිළිගන්නේ නම් කළ යුත්තේ එවැනි එක් තානාපතිවරයෙක් හෝ අපේ රටට පිළිගත නොහැකි පුද්ගලයෙක් ලෙස නම්කර යළිත් ඔවුන්ගේ රටට යැවීමය.

අසල්වැසි ඉන්දියාව මේ ප‍්‍රශ්නයේදී කිසිදු පාර්ශ්වයක් නොගත් අතර ඔවුන් දිගින් දිගටම පැවසුවේ ව්‍යවස්ථානුකූලව හෝ නීත්‍යානුකූලව මේ ප‍්‍රශ්නය විසඳා ගන්නා ලෙසය. එසේම ශ‍්‍රී ලංකාවේ කවර රජයක් බලයට පැමිණියද එම රජය සමග කටයුතු කරන්නට තමන් සූදානම් බවද ඉන්දියානු රජයේ ස්ථාවරය විය. චීනයද මේ ප‍්‍රශ්නයේදී අනුගමනය කළේ ඊට යම්තාක් දුරට සමාන ක‍්‍රියාවලියකි. එම දෙරටේම ව්‍යාපෘති මෙරට වැඩි වශයෙන් ක‍්‍රියාත්මකව තිබියදී එවැනි ආකාරයෙන් කටයුතු කිරීම අගය කළ යුතුය.

පසුගිය රජය ආරම්භයේ සිට මෙරටට බටහිර රටවලින් විදේශ අමුත්තෝ බුරුතු පිටින් පැමිණියහ. ඔවුහු රටේ ප‍්‍රධාන ස්ථාන පරීක්ෂා කළහ. මොවුන් බොහෝ දෙනකු ඇතැම් විට පැමිණියේ කවර කාරණයකට දැයි රටේ ජනතාවට රහසක් විය. රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාට පවා මේවා නිසි පරිදි දැන්වූයේ දැයි අපට සැකයක් තිබේ.

මේ තානාපතිවරුන් අපේ රටේ දේශපාලන ප‍්‍රශ්නය තව තවත් අවුල් කරන්නේ දැයි අපට ගැටලූවක් තිබේ. මුලින් කථානායකවරයා විසින් නව අගමැතිවරයා පිළිගන්නා ලද අතර දින හතරකට පසු නොපිළිගන්නා බව පවසා සිටීම දැක ගත හැකි විය. විවිධ තානාපතිවරු කථානායකවරයා හමුවූ බව ඔවුන් විසින්ම ප‍්‍රකාශ නිකුත් කර තිබිණි. මේ නිසා අපේ රටේ නායකයන්ගේ තීරණ වෙනස් කරන්නට මැදිහත් වුණේ කුමන තානාපති කාර්යාලද යන්න වහාම සොයා බැලිය යුතුව තිබේ.

පාර්ලිමේන්තුව කල්දැමීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම ජනාධිපතිවරයා සතු බලය දැන දැනම එම බලයට අභියෝග කරන්නට මේ ඇතැම් තානාපතිවරු කටයුතු කළහ. එපමණක් නොව ඒ සඳහා කථානායකවරයාද සම්බන්ධ කරගන්නට ඔවුන් කටයුතු කිරීම නිසා මේ ප‍්‍රශ්නය තවදුරටත් උග‍්‍රවී තිබේ.

දින කීපයකට පෙර ආණ්ඩුව එළවීම සඳහා පෙළපාලි ගිය ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීම මේ ප‍්‍රශ්නයේදී අතිශය වෙනස් මගක් ගත්තේය. සෑමවිටම මැතිවරණවලට සූදානම් ජනතාවාදී පක්ෂයක් වූ එම පක්ෂය මෙවර කටයුතු කළේ ඊට ප‍්‍රතිවිරුද්ධ ආකාරයකටය. අර්බුදය නිම කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් කැඳවන ලද සාකච්ඡුා සඳහා ඔවුන් සහභාගි නොවීමද කැපී පෙනේ.

නව රජය යටතේ විදේශ ණය හා ආධාර නොලැබී යනු ඇතැයි ඇතැම් පාර්ශ්ව ගෙන යන ප‍්‍රචාරය පිළිගැනීමට අසීරුය. ශ‍්‍රී ලංකාවේ බලය හමුදාව විසින් හෝ කිසියම් කැරලිකරුවන් පිරිසක් විසින් අත්පත්කර ගත්තේ නම් එවැන්නක් විය හැක. එහෙත් මෙතන ඇත්තේ පාර්ලිමේන්තුව තුළ ප‍්‍රශ්නයකි.

අනෙක් අතට මේ බල පෙරළිය තුළ පාර්ලිමේන්තුව තුළ ගැටුම් ඇති වුවද රට තුළ ගම්වල හෝ රටේ කාර්යාලවල හෝ සාමාන්‍ය ජනතාව අතර ගැටුම් ඇති නොවීය. රටකට ලබා දෙන ආධාර සාමාන්‍යයෙන් කවර රජයක් පැවතියද ලබා දෙන්නේ රටේ ජනතාවටය.

අනෙක් අතට නව රජය පවසන්නේ හැකි ඉක්මනින් මැතිවරණයකට යන බවයි. පැවති රජයද පාර්ලිමේන්තුවේ තනි බහුතරයක් පැවතියේ නැත. එම නිසා යළිත් මහ මැතිවරණයකට යෑම අපරාධයක් ලෙස බටහිර රටවල් කල්පනා කරන්නේ නම් එය නිවැරදි නොවේ.

රටේ ජනතා මතය බලන්නට නම් ලොව හොඳම මෙන්ම සාධාරණම පිළිගත් ක‍්‍රමවේදය මහ මැතිවරණයයි. එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වැරදි නිවැරදි කර ගැනීම මීළඟ පාර්ලිමේන්තුවේ පළමු කාර්යභාරය විය යුතුය.

රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු පක්ෂයක ව්‍යවස්ථාව නොවේ. පක්ෂයක ව්‍යවස්ථාව තමන්ට අවශ්‍ය ලෙස සාදා ගැනීම කළ හැකි වුවත් රටේ ව්‍යවස්ථාව එලෙස නැත. රටේ ව්‍යවස්ථාව තුළින් රට අර්බුදයක් නොවන ආකාරයකට කටයුතු කරන්නට නිසි බලයක් ක‍්‍රමවේදයක් තිබිය යුතුය.

රටක අර්බුදකාරී අවස්ථාවක, රටේ ජන මතයට පිටින් කිසියම් රජයක් කටයුතු කරන අවස්ථාවක හෝ රටේ ජනමතය විමසා බලන්නට මැතිවරණයකට යාහැකි ක‍්‍රමවේදයක් තිබිය යුතුමය. මුදලට විකිණෙන මන්ත‍්‍රීවරු සිටින රටක එවැන්නක් අත්‍යවශ්‍ය වේ.

අඩුම තරමින් ජනමත විචාරණයක් පවත්වා ජනතාවගේ කැමැත්ත ඒ සඳහා විමසීම වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීය. මේ ප‍්‍රශ්නය වෙනත් කවර ආකාරයකට විසඳා ගන්නට ඇති ඉඩකඩ ඉතාම අඩු බව අපගේ විශ්වාසයයි. එම නිසා ජනතාවගේ මතයට ඉඩ දෙන ජනතා පරමාධිපත්‍යය තහවුරු කෙරෙන විසඳුමක් කෙරෙහි විශ්වාසය තැබීම වඩා සුදුසු බව අපගේ අදහසයි.

Comments