මේ එළඹෙන්නේ මගේ කාලයයි.මේ එළඹෙන්නේ සජිත් ප්‍රේමදාසගේ කාලයයි-

1

රට දැය බේරා ගැනීමට කටයුතු කළ සෑම රණ විරුවෙකුගේම පවුල් ළඟටම ගිහිං ඔවුන්ට සළකන්න තමන් ඉදිරියේදී සුදානම් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණමඩුවේ ඉදිකරන ලද රණවිරු නීරෝ ගම්මානය විවෘත කිරීම නිමිත්තෙන් පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙරට ඉදිවූ 253 වන උදාගම්මානය රණවිරු නීරෝ ගම්මාන වේ.

මෙම ගම්මානය නිවාස 36 කින් සමන්විතය.

ස්නයිෆර් වෙඩික්කරුවෙකු වූ රංජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ නම්වූ රණ විරුවාගේ මව වන රීටා ප්‍රනාන්දු මහත්මියට අංග සම්පූර්ණ නිවසක් ඉදිකර බාර දීමද මෙහිදී සිදු විය.

තව දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
 
” නීරෝ හෙවත් රංජිත් ප්‍රේමසිරි යන අපේ රණ විරුවාගේ නමින් උදා ගම්මානයක් විවෘත කරන විට ඒ මහතාගේ මවටත් අංග සම්පූර්ණ නව නිවසක් ඉදිකර ලබා දීමට නිවාස සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබෙනවා.

එමෙන්ම එම නිවසට අවශ්‍ය කරන අනෙකුත් දෑ ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන ලෙසත් නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමණාකරුට මම මේ අවස්ථාවේදී උපදෙස් ලබා දුන්නා.

2015 සැමට සෙවන ලබා දීම උදෙසා නිවාස 20,000 ක් ඉදිකිරීමේ වැඩ සටහන පියවර 04 කින් ක්‍රියාත්මක කරනවා.පළමු වන පියවර නිවාස 2500 යි.දෙවැනි පියවර නිවාස 5000 යි.

තුන්වනපියවර නිවාස 10,000 යි.හතර වන පියවර නිවාස 2500 යි.පළමු වන නිවාස 2500 ආරම්භ කර අවසන් කිරීමට නියමිතව තිබුනේ මේ වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී.

නමුත් නිවාස අධිකාරියේ නිලධාරීන්ගේ කැපවීම මත එම ඉලක්කය පසුගිය ජූලි මාසයේ 15 වැනිදා වන විට අවසන් කර තිබෙනවා.ඉදිරි පියවර තුනෙන් නිවාස 17,500 ක් ඉදිවන විට තනි මහල් නිවාස නෙමෙයි,එක් භූමියක පවුල් තුනකට පදිංචි වීමේ නිවාස වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා.

එසේ සිදු කරන්නේ සීමිත භූමිය තුළනිවාස 20,000 ක් ඉදිකරමින් සැමට සෙවන නිවාස ක්‍රමය ක්‍රියාත්මක කරන බව කියන්න කැමතියි.

ඡන්දේ කාලෙට ඇතුමුන් කතා කරනවා බොහෝම ජනප්‍රිය මාතෘකාවක් සම්බන්ධයෙන්.ඒ මාතෘකාව වන්නේ රටේ රණ විරුවන් ගැන කථා කිරීමයි. දැන් ප්‍රතිවාදී අය කියනවා ඒ අයළු රටේ මාතෘ භූමිය ආරක්ෂා කරන්නේ.ඒ අයළු රණ විරුවව රැක දෙන්නේ.ඒ අයළු රණ විරුවා වෙනුවෙන් පෙනී සිටින්නේ. 

මාතෘ භූමිය රැක ගත්තු යුද්ධය ජය ගත්තු රණ විරුවන්ව ආරක්ෂා කරන ප්‍රධානතම කණ්ඩායම ඒ අයළු.අපි සියළුම දෙනා අවබෝධ කර ගත යුතුයි ඕනම කෙනෙකුට කථා කියන්න පුළුවන්.

ඕනම කෙනෙකුට කයිවාරු ගහන්න පුළුවන්.කටින් පිටවන ප්‍රකාශ, වචන ක්‍රියාවට නංවනවද නැද්ද කියා රටේ ජනතාව සොයා බලන්න ඕනේ.නීරෝ කියන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ක්ෂෙත්‍රයේ සැගවුණු ස්නයිෆර් වෙඩික්කරුවාගේ රාජකාරිය කරපු දක්ෂතම නිලධාරියෙක්.නීරෝ රණ විරුවා 2009 අප්‍රියෙල් 28 වැනිදා යුද්ධය දිනන්නට සති තුනකට පෙර රට දැය වෙනුවෙන් වීරෝධාර හපන්කම් රැසක් සිදු කර දැයෙන් සමු ගත්තා.

රණ විරුවන් ගැන පම්පෝරි ගහන කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ගෙන් මම අහන්න කැමතියි නීරෝ නැති වුනාට පස්සේ නීරෝගේ පවුලේ සාමාජිකයින්ට යුතුකම් ඉෂ්ඨ කලාද කියලා.නීරෝ වැනි දක්ෂ වෙඩික්කරුවෙක් මේ මාතෘ භූමියට බිහි කරපු ඒ මෑණියන් වෙනුවෙන් මොකක්ද කළ යුතු යුතුකම වෙන්නේ.ලැජ්ජයි කියන්න ඒ මෑණියන්ට තමන්ගේම කියලා ඉඩමක් තිබුනේ නැහැ.

මේ තොරතුර මට ලැබුණු විගස නිවාස අධිකාරියට අයත් ඉඩම්කැබැල්ලක් ඇයට නොමිලේ ලබා දුන්නා පමණක් නෙමෙයි,එහි අංග සම්පූර්ණ නිවසක් ඉදිකර අද දවසේ ඇයට බාර දීමටත් කටයුතු කරන්න මම පියවර ගත්තා.2009 ඉදලා 2015 අවුරුද්දේ මුල් භාගය වන තුරු දැන් මේ දේශප්‍රේමීත්ව ගැන බෙරිහන් දෙන කණ්ඩායම මේ රටේ රජ කලා.

තමන්ගේ රජ පවුලට ඔවුන් මාළිගා හැදුවා නේද?.පීනුම් තටාක හැදුවා නේද?.නමුත් නීරෝගේ මවට තඹ ශතයක අමතර උදව්වක් කළේ නෑ.නමුත් නීරෝ නීරෝගේ යුතුකම මාතෘ භූමියට ඉටු කලා. රණ විරුවන්ට ඉඩම් දෙන කොට ලැජ්ජා නැතිව මුදල් අය කර ගත්තා.රණ විරුවන්ට සහන දුන්නේ නෑ.විශේෂ වරප්‍රසාද ලබා දුන්නේ නෑ.ආබාධිත රණ විරුවන්ට ලාබ දිය යුතු උපකරන ටික,සහන ටික,වරප්‍රසාද ලබා දුන්නේ නෑ.

රණ විරු ප්‍රජාවට කියන්න කැමති ඉදිරි නොවැම්බර් මාසයේ මේ රටේ ජනතාව නව යුගයක්,නව ශ්‍රී ලංකාවක් හැරවුම් ලක්ෂයක් මේ රටේ නිර්මාණය කරලා සජිත් ප්‍රේමදාසට හයිය ලබා දෙන විට නීරෝගේ මවට සැළකුවා සේම, මේ රටේ සෑම රණ විරු පවුලකටම සීමා මායිම් නොතකා සජිත් ප්‍රේමදාස සලකනවයි කියන එක.

පොඩ්ඩක් හිතලා බලන්න රණ විරුවන්ගෙන් මම අහන්න කැමතියි ඔය ප්‍රතිවාදී කණ්ඩායම් නියෝජනය කරන අය ළගට ගිහිං රණ විරුවාගේ දුක කථා කරන්න පුළුවන්ද?.ළගට ගිහිං රණ විරුවාගේ ප්‍රශ්ණ කථා කරන්න පුළුවන්ද?කථා කරන්න පුළුවන් අවසානයේ නතර වෙයි කැරකොප්පුවෙන් නැත්නම් ආදාහනාගාරයෙන්.

අපි එහෙම නැහැ. අපි හදිවතින් ඉන්නේ ඔබත් සමග.අපි හදවතින්ම ඉන්නේ මේ රට බේරා ගත්තු රණ විරුවා සමගයි ඉන්නේ.මේ රණ විරු නීරෝ ගම්මානය විවෘත වන අවස්ථාවේ කියන්න කැමතියි අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ,පොලීසියේ, සිවිල් ආරක්ෂක බලකායේ, බුද්ධි අංශයේ,සෑම අංශයකම සිටින ආරක්ෂක අංශයේ නිලධාරීන්ට කියන්න කැමතියි ඔබලාට මෙච්චර කල් ලබා දුන් සැළකිල්ලට වැඩිය රට දැය බේරා ගත් ඔබ සියළු දෙනා රකින අවස්ථාවයි දැන් උදා වෙලා තියෙන්නේ කියලා.

මේ එළඹෙන්නේ මගේ කාලයයි.මේ එළඹෙන්නේ සජිත් ප්‍රේමදාසගේ කාලයයි.සජිත් ප්‍රේමසාදගේ කාලය තුළ රට දැය බේරා ගත්තු තිස් වසරක යුධ පිලිකාව,සාපයෙන් අපේ රට බේරා ගත්තු සෑම  රණ  විරුවෙකුගේම පවුල් වල කකුල් දෙක ළගට ගිහිං සලකනවයි කියන එක කියන්න කැමතියි.”

Comments