මහ මැතිවරණයේදී උතුරු හා නැඟෙනහිර දෙමළ සහය කාටද ?

3

උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවට නිසි නායකත්වයක් ලබාදීමට නොහැකි තරමට දෙමළ නයකත්වයන් යල්පැන ගොස් කල් ඉකුත් වී ඇති නිසා වහාම දෙමළ ජනතාවට නායකත්වය ලබාදීමට  විකල්ප නායකත්වයක් සෙවිය යුතුව ඇතැයි ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා වවුනියාවේදී පැවැසීය. 

වවුනියාවේ පිහිටි පෞද්ගලික හෝටලයකදී පැවැති ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ මධ්‍යම කාරක සභාව රැස්වීමේදී අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේ ඉදිරියේදී එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට පෙර උතුරු නැඟෙනහිර දෙමළ ජනතාව නව නායකත්වයකට යා යුතු බවයි. 

මේ නායකත්වය තීරණය කොට මහ මැතිවරණය සඳහා කටයුතු සූදානම් කළ යුතු බවත්, දෙමළ ජනතාවට විශ්වාසය තැබිය හැකි දෙමළ නායකත්වයක් ඉදිරිපත් කොට ජනතාවඔහු වටා පෙළගැස්විය යුතු බවත් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවැසීය. 

උතුරේ දෙමළ ජනතාවට වඩා නැඟෙනහිර දෙමළ ජනතාව නිසි නායකයකු නොමැතිකම නිසා ඉතා අසරණ වී සිටින බව කී මන්ත්‍රිවරයා, දෙමළ නායකයන් නිතරම උතුරු පළාතේ පිරිස සමඟ කටයුතු කිරීමට සූදානම් වීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බව සඳහන් කළ හිටපු මන්ත්‍රිවරයා වහාම මේ තත්ත්වය වෙනස් කොට උතුරු පළාතටත් නැඟෙනහිර පළාතටත් එක හා සමානව පිළිගත හැකි නව නායකත්වයක් ඇති කළ යුතුව ඇතැයිද  පෙන්වා දුන්නේය. 

මේ වනවිට දෙමළ ජනතාවට නායකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටින පිරිස විසින් ඉටුකරනු ලබන්නේ ජනතාවට අවශ්‍ය දෙය නොව ඔවුන්ට අවශ්‍ය දේ පමණක් නිසා එවැනි නායකයන්ගෙන් කිසිදු පලක් නොමැති බව පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තුළින් ඉතාම පැහැදිලිව පෙනෙන්නට ඇති බවද ඊ.පී.ආර්.එල්.එෆ්. නායකයා පැවැසීය. දෙමළ ජාතිය වෙනුවෙන් පෙනී සිටින නායකයන් ජනාධිපතිවරණයේදී ගත් එම වැරැදි තීන්දු තීරණ නිසා දෙමළ ජනතාවට කිසිවක් නොලැබෙන පරිසරයක් දේශපාලන වශයෙන් නිර්මාණය වූවා පමණක් නොව, දකුණේ ජනතාව දෙමළ ජනතාව පිළිබඳව තබා තිබූ ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවද පැවැසීය. 

මේ නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර දෙමළ නායකත්වයක් ඉස්මතු කොට උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවගේ පමණක් නොව රටේ සිංහල ජනතාවද ගරු කරන අන්දමට ඒ නායකත්වය පත්කළ යුතුව ඇති නිසා ඊ.පී.ආර්.එෆ්. සංවිධානය එම උත්සාහයේ නිරත වන බවද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේය.

Comments