මසක් තිස්සේ ඔඩුදුවන දේශපාලන අර්බුදය

5

මසක් කල් ඉක්ම වූ දේශපාලන අර්බුද සුළිය තවමත් කැරකැවෙමින් තිබේ. පෙනෙන්නට තිබෙන ආකාරයට එම තත්ත්වය දැන්ම තුරන් වන බවක් ද නොපෙනේ. සිකුරාදා පාර්ලිමේන්තුව එයට හොඳම උදාහරණයකි. මේ ආකාරයෙන් රටට තවදුරටත් ඉදිරියට යා හැකි ද යන්න සෑම පාර්ශ්වයක්ම මෙන්ම සබුද්ධික ජනයා ද ගැඹුරින් මෙනෙහි කළ යුතුය.

රටකට මාසයක් යනු කල්පයක් තරම් කාලයකි. එම කාලය තුළ රට ආපස්සට මිසක් ඉදිරියට ගියේ නැත. සෑම තැනම වැතිරී තිබෙන්නේ අවිනිශ්‍චිතභාවය පමණි. ආණ්ඩුව හා රජය අතර තිබිය යුතු පරතරය නිවැරැදිව හඳුනා නොගත් සමාජයක ආණ්ඩුව තුළ නිර්මාණය වී ඇති අර්බුදය නිසා රජය අකර්මණ්‍ය වීම බලාපොරොත්තු විය යුත්තකි. එහෙත් එසේ යැයි කියා හිස බිමට නවාගෙන නිහඬව සිටීමට සබුද්ධික ජනයාට අයිතියක් නැත.

දියුණු ශිෂ්ට සම්පන්න නවීන ලෝකයේ අවධානය යොමුකරනු ලබන්නේ ‘‘කවුද හරි?’’ යන්න දෙස නොව ‘‘කුමක්ද හරි?’’ යන්න දෙසය. එහෙත් නොදියුණු, ගෝත්‍රික ප්‍රාථමික හා වැඩවසම් සමාජ ලක්ෂණ සහිත සමාජයක් වූ ශ්‍රී ලංකාවේ අවධානය යොමු කරනු ලබන්නේ ‘‘කුමක්ද හරි?’’ යන්න දෙස නොව ‘‘කවුද හරි?’’ යන්න දෙසය. එය තවත් ගෝත්‍රික වෙමින් ‘‘මං හරි’’ ස්ථාවරයට සියල්ලෝම පැමිණ සිටිති.

‘‘මං හරි’’ ස්ථාවරයට පැමිණීමේ තාර්කික අන්තය බවට පත් වී තිබෙන්නේ තම තමන්ගේ මනසේ දිග පළලට අනුව සහ තම තමන්ගේ ආශාවට ගැළපෙන පරිදි සිදුවීම් විග්‍රහ කර ගැනීමය. අර්බුදය ලෙහා ගැනීමට ඇති සියලුම මාර්ග වැසී යන්නේ එයට යටත්වය. පාර්ලිමේන්තුව මස්පිඬු ප්‍රදර්ශනාගාරයක් බවට පත්ව තිබෙන්නේ ද එහෙයිනි.

ඕනෑම සිදුවීමක් සරලම අංශුවට කඩා විග්‍රහ කර ගත යුතුය. ඉක්ම යන මොහොතේ රටේ පැන නැඟී තිබෙන අර්බුදය විග්‍රහ කරගැනීමට ඇති එකම මාර්ගය වන්නේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා රටේ නීති පද්ධතියට යටත්ව අර්බුදය විග්‍රහ කරගැනීම හා වටහා ගැනීමය.

ඉක්ම යන මේ මොහොතේ සමාජයේ සෑම පුරවැසියකුම නීති විශාරදයන් බවට පත්ව ඇති සෙයකි. එය එක් අතකින් යහපත් ප්‍රවණතාවකි. එහෙත් ඇත්ත තත්ත්වය නම් රටේ සාමාන්‍ය ජනයා නීති විශාරදයන් නොවන බවය. එය පිළිගැනීමට නිහතමානී විය යුතුය. දේශපාලනඥයෝ තමන්ගේ පාක්ෂිකයා කුල්මත් වන ප්‍රමාණයට පමණක් නීති පොතේ උධෘත දක්වති.

තමන්ට ඇවැසි දේ පමණක් සිදුවිය යුතු යැයි සිතීම ද අර්බුදය තීව්‍ර කරන්නකි. තේරුම් ගත යුතුවන්නේ නීතියට අනුරූපී වන හෝ යටත් වන තීන්දුව සදාචාරයට නොගැළපෙන්නක් විය හැකි බවය. සදාචාරයට යටත්වන දෙය නීතියට අනුකූල නොවිය හැකි බවය. එමෙන්ම නීතිය යනු ශීලයක් ද නොවේ. ශීලයක්නම් එය දිවි හිමියෙන් ආරක්ෂා කළ යුතුය. එහෙත් නීතිය යනු ප්‍රායෝගික තලයේ පවතින්නකි.
නීති පද්ධතියක් රටට හඳුන්වා දී තිබෙන්නේ රටේ ගමන නිරුපද්‍රිත කිරීමටය. ජනතාවගේ යහපත, සෙතසුව පිණිසය. මනුෂ්‍ය ගරුත්වය රැකගනිමින් මිනිස් අයිතිවාසිකම් නිරුපද්‍රිතව භුක්ති විඳිමින් ජීවත් වීමටය. ඒ අරමුණට නීතිය බාධාවක් විය යුතු නැත. බාධාවක් කර ගත යුතු ද නැත.

මේ මොහොතේ අවශ්‍ය වන්නේ සදාචාර බලය ඉස්මතු කරගැනීමය. එම සදාචාර බලය ඉස්මතු කරගැනීම තුළ තමන්ට යම් භෞතිකමය අලාභයක් සිදු වූවද සදාචාර බලයෙන් ලැබෙන ලාභය අතිමහත්ය. දේශපාලනඥයන් ගුණවත් විය යුතුවන්නේ එහෙයිනි. දේශපාලනඥයා එබඳු ගුණවත් මට්ටමකට පරිවර්තනය වන්නේනම් අර්බුදය කුමක් වූවද එය පහසුවෙන් විසඳාගැනීමේ හැකියාව ලැබේ.

රට තුළ නිර්මාණය වී ඇති අර්බුදය දියවන්නාවේ ගරු කටයුතු මහත්වරුන් 225 දෙනාට සාමූහික විචාර බුද්ධියෙන් විසඳාගැනීමට නොහැකිනම් කළ යුතුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පරමාධිපත්‍යයේ බලය හිමි ජනතාව ඉදිරියට යාමය. ජනතාවගේ තීන්දුව අන්හැම තීන්දුවකටම වඩා බලවත් බව ඒකාන්ත වශයෙන්ම තහවුරු කළ, ඔප්පු කළ සත්‍ය වේ.

Comments