පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභයගේ මංගල රැළිය අද

3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන ජන රැළි මාලාවේ මංගල රැළිය අද (09) පැවැත්වෙයි.

අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම රැළිය අද පස්වරු 02.00 ට ආරම්භවීමට නියමිතයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැළිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වෙයි.

නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් අද පස්වරුවේ පැවැත්වෙන ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මංගල රැළිය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක යන මහත්වරුන් සහභාගී වන බවයි.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් අද පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.

අද පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව අයමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරි නිවාස හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

අනතුරුව ඔවුන් ශ්‍රී මහා බෝධීන්වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගනු ලැබුවේය.

පසුව ඔවුන් අනුරාධපුර ජයන්ති විහාරය වෙතද පැමිණ ආශිර්වාද ලබාගත්තේය.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළි මාලවේ සමාරම්භක ජනරැළිය අද දහවල් දෙකට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සූදානම් බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ

Comments