පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයා බැලෙන තේරීම් කාරක සභාව ගැන, යෝජනාව අද පාර්ලිමේන්තුවට

1

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සහ ඉන් පසුව රටේ ඇති වූ තත්ත්වයන් පිළිබඳව සොයා බැලීම සඳහා වන තේරිම් කාරක සභාව පිළිබඳ යෝජනාව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

මෙම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව මගින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ද කරුණු විමසා බැලීමට නියමිතව තිබෙනවා.

සභානායකවරයා යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු යම් හෙයකින් විපක්ෂය විසින් ඊට විරෝධතාවක් ඉදිරිපත් කළහොත් තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් ඡුන්ද විමසීමක් සිදුකෙරෙනු ඇති.

ඒ අනුව, ආණ්ඩුපක්ෂයේ සියලූම මන්ත‍්‍රීවරුන්ට අද පස්වරු 3 වනවිට පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණ සිටින ලෙස දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

අද දිනයේ යෝජනාව සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට කතානායකවරයා විසින් සාමාජිකයන් නම් කරනු ඇති.

ආණ්ඩු පක්ෂයෙන් සභාපති ධුරය ස`දහා නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ නම මේ වනවිටත් යෝජනා කර තිබෙනවා.

සාමාන්‍යයෙන් මෙවැනි කාරක සභාවක් උපරිම සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ එකඟතාව මත තේරීම්කාරක සභාවේ අවසන් වාර්තාව සකස් කිරීමේ කාල සීමාව තීරණය කිරීම සම්ප‍්‍රදායයි.

මේ අතර, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම් දෙන්නේ නම්, අමාත්‍ය ධුරයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් ගැනීමට සූදානම් බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය වෙත ප‍්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශයට කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රතිචාරයක් නොදැක්වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප කළ විමසීමකදී කියා සිටියා.

පාස්කු ඉරිදා සිදුවූ පිපිරීම් වලින් පවුල් 344 ක් විපතට පත්ව ඇති අතර, මින් පවුල් 156 ක එක් මරණයක් හෝ සිදුවී තිබෙනවා.

පවුල් 188 කින් අවම වශයෙන් එක් පුද්ගලයෙකු හෝ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පවුල්වල සාමාජිකයින් නැවත නගා සිටුවීම සඳහා කතෝලික සභාවේ සෙත් සරණ, සමාජ සේවා ආයතනයේ සම්බන්ධීකරණය සහිතව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඊට අවශ්‍ය අරමුදල් සලසා ගැනීම සඳහා අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ඉදිරිපත් කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

එමෙන්ම, පසුගියදා දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ඇති වූ ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් හානි සිදුවූ මුස්ලිම් දේවස්ථාන ප‍්‍රතිසංස්කරණය කිරීමට සහ එම ගැටුම් හේතුවෙන් සිදුවූ හානි වෙනුවෙන් වන්දි පිරිනැමීමට ද, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ එම කැබිනට් පති‍්‍රකාව ඉදිරිපත් කර තිබූ අතර, පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරවලින් හානි සිදුවූවන් වෙනුවෙන් වන්දි ගෙවීමට තීරණය කළ ක‍්‍රමවේදයටම අදාළ ගෙවීම් ද සිදුකෙරෙනු ඇති.

Comments