පාර්ලිමේන්තුව හිතෙන දේ කියන තැනක් නොවේ

1

පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ගේ හිතලු ඉදිරිපත් කරන ස්ථානයක් බවට පත් නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී (05) ඊයේ ඉල්ලා සිටියේය.‍

පාර්ලිමේන්තුව යනු මන්ත්‍රීවරුන්ගේ හිතට දැනෙන, හිත රිදුනු තරමට කතා කරන ස්ථානයක් නොවන බවත් එක් එක් අයට තමන්ගේ හිතට දැනෙන දේ නැගිට නැගිට කතාකරන ස්ථානයක් නොවන බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

ඊයේ (05) දින‍ට නියමිත පාර්ලිමේන්තු යෝජනාව ලබන 12 වැනිදා‍ දක්වා කල් තැබීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පැයකට පමණ කාලයක් තම තමන්ගේ අදහස් පළකිරීම දිගින් දිගටම සිදුකළ හෙයින් එවන් තත්ත්වයකට පාර්ලිමේන්තුව පත් නොකර සභාව කල් තබන්නැයිද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ආණ්ඩුව නීති විරෝධියි, මාධ්‍ය ප්‍රධානීන් අත් අඩංගුවට ගත යුතුයි,අපේ රට අස්ථාවරයි, අරාජිකයි ,ආර්ථිකය කඩා වැටි ඇතැයි , යනුවෙන් විවිධ අදහස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කිරිම හේතුවෙන් එම හිතලු ඉදිරිපත් කිරීමට අවස්ථාව නොදෙන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා

අද දිනට නියමිත යෝජනාව ඉදිරිපත් නොකරන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළා. යෝජනාවක් නැත්තම් පාර්ලිමේන්තු කල් තැබිය යුතුයි‍.සභාව කල් තැබීම සඳහා අපි යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. දැන් මේ පාර්ලිමේන්තුවේ හැමෝම නැගිට නැගිට පාර්ලිමේන්තුව කල් තබන්නේ නැතිව හිතට එන එන දේ කියනවා.‍අදාළ ප්‍රශ්නයි, අදාළ නැති ප්‍රශ්නයි හැම එකම කතා කරනවා. මෙහෙම සභාවක් මෙහෙයවන්න එපා. නියමිත විෂයක් තිබුණා. එය විවාදයට ගන්නේ නැහැ. එහෙමනම් සභාව කල් තබන්න ඕන. දැන් පැය ගණනාවක් එක එක්කෙනා හිතට එන එක එක දේ කියමින් ඉන්නවා. පාර්ලිමේන්තුව ඒ තැනට පත්කරන්න එපා.

Comments