පාර්ලිමේන්තුව කැඳවීමට එරෙහි පෙත්සම් විභාග නොකරම ඉවත දමන්න

3

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අවසන් අධිකරණ තීන්දුවක් දී නැති අවස්ථාවක පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ගත් තීරණ නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ඊයේ (10) ශ්‍රේෂ්ඨාධිකරණ‍ෙයන් ඉල්ලා සිටියේය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ හර්ෂ කුමාර සූරියආරච්චි විසින් ගොනුකර තිබූ මෙම පෙත්සම් ඊයේ (10) කැඳවූ අවස්ථාවේදී ඊට මූලික විරෝධතා ඉදිරිපත් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින්පුල්ලේ මහතා මෙම ඉල්ලීම කෙළේය.

ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවන ලදී.

එහිදී පෙත්සම් සම්බන්ධ මූලික විරෝධතා ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සදහන් කෙළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වන විට අවසන් තීන්දුවක් ප්‍රකාශ කර ඇති බවය.

එබැවින් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් දී නැති බවට පෙත්සම් මඟින් ඉදිරිපත් කරන කරුණු තවදුරටත් වලංගු නොවන බවට ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ හේතුව මතම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට කරුණු ඉදිරිපත් කෙළේය.

කෙසේ වුවද පෙත්සම් සම්බන්ධ කරුණු තහවුරු කිරීමට අවසර දීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා පෙත්සම් මැයි මස 13 සහ 20 දිනයන්හිදී කැඳවීමට නියම කෙළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබූ කාලය තුළ ගත් තීන්දු තීරණ නීතියට පටහැනි බවට කරුණු ඉදිරිපත් කරමින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.

ඉකුත් 2018 වසරේ නොවැම්බර් මස 9 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බවට ප්‍රකාශ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

එසේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නොවැම්බර් මස 14 දින නිකුත් කරන ලදී.

පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් මත අවසන් තීන්දුවක් ප්‍රකාශ කර නැති බවට ප්‍රකාශ කරමින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබූ කාලයේ දී පාර්ලිමේන්තුවේ ගත් සියලු තීන්දු තීරණ ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි.

නීතිඥ ඩබ්ලිව්. රොද්‍රිගෝ සහ ඕෂධ රොද්‍රිගෝ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබිය දී පාර්ලිමේන්තුව කැඳවීමට ක්‍රියා කිරීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ ‍පෙත්සම් කිහිපයක් ඊයේ (10) පෙත්සම්කරුවන් විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ දි ඉල්ලා අස්කර ගන්නා ලදි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය විසින් අවසන් තීන්දුවක් ප්‍රකාශ කර ඇති අතර පෙත්සම් මගින් තමන් ඉල්ලා සිටි සහන දැනටමත් ලැබී ඇති බැවින් පෙත්සම් තවදුරටත් පවත්වාගෙන නොයන බවට පෙත්සම්කරුවන් සිය නීතිඥවරු මගින් අධිකරණයට දන්වා සිටියහ.

ඒ අනුව පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ඔවුහු අවසර ඉල්ලා සිටියහ.

එම ඉල්ලීමට අවසර දුන් ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් නිෂ්ප්‍රභා කෙළේ ය.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නීතිඥ චාමර සුමනපාල, නීතිඥ ඉන්දික ගාල්ලගේ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

තිෂ්‍ය වේරගොඩ, දර්ශන වේරදූවගේ යන නීතිඥවරු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

Comments