පකිස්තානු තේරීම් කමිටු ප්‍රධානි මිෂ්බා ශ්‍රී ලංකා කණ්ඩායමේ ගුණ වයයි

3

සංචාරක ශ්‍රී  ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් සංචාරයට ඇතුළත් දෙවැනි විස්සයි-20 තරගයට පෙර පැවැති මාධ්‍ය හමුව සඳහා සහභාගි වූ පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටු ප්‍රධානි මිෂ්බා උල් හක් පවසා සිටියේ ශ්‍රී  ලංකා-පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ පාකිස්තානයට කරදරකාරී පිතිකරුවකු වූ කුමාර සංගක්කාරගේ භූමිකාවේ වත්මන් ක්‍රියාකරු ලෙස ධනුෂ්ක ගුණතිලක කටයුතු කරන බවයි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිෂ්බා “මම හිතන්නෙ මේ වෙනකොට ධනුෂ්ක ගුණතිලක ඔහුගේ උපරිම දක්ෂතා දක්වමින් ඉන්නෙ. එක්දින තරගාවලියෙදි මෙන්ම පළමු විස්සයි-20 තරගයේදීත් ඔහු අගනා පිතිහරඹයක නියැළුණා. සාමාන්‍යයෙන් මේ සිදුවීම අපේ කණ්ඩායම ශ්‍රී  ලංකාවත් එක්ක ක්‍රීඩා කරද්දි බැඳිච්ච දෙයක්. ඉස්සර සංගක්කාර අපිට කරදර කළා. දැන් ධනුෂ්ක ගුණතිලක අපට කරදර කරනවා. ඇත්තටම ශ්‍රී  ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා අපිව පුදුමයට පත්කළා. විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන් දෙදෙනා අපහසු වාතාවරණයක් තියෙද්දි තෙත පන්දුවෙන් දක්වපු දක්ෂතා ඇත්තටම පුදුමයට කරුණක්. දසුන් ශානකගේත් ධනුෂ්ක ගුණතිලකගේත් පිතිහරඹය ඇත්තටම විශිෂ්ටයි. සමස්තයක් වශයෙන් ශ්‍රී  ලංකා කණ්ඩායම නවක දක්ෂ ක්‍රීඩකයන්ගෙ සංයුතියක්” යනුවෙන් පැවැසීය. 

කෙසේ වෙතත් පළමු විස්සයි-20 තරගයේදී පවර් ප්ලේ පන්දුවාරවල දෙපිල ක්‍රීඩා කළ ආකාරය තරගයේ ප්‍රතිඵලයට සෘජුවම බලපෑමක් එල්ල කළ බවද මිෂ්බා එහිදී සඳහන් කළේය. ශ්‍රී  ලංකා ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක හා අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී  ලංකා ඉනිමේ ‘පවර් ප්ලේ’ පන්දුවාර තුළ (පළමු පන්දුවාර 6) කඩුලු ලබා නොදෙමින් ලකුණු 64ක් ලබාගැනීමට සමත් වූයේ පාකිස්තාන පන්දු යවන්නන් දැඩි පීඩනයකට ලක්කරමිනි. එසේම පාකිස්තාන ඉනිමේ පවර් ප්ලේ පන්දුවාර තුළ ලකුණු 30ක් පමණක් ලබාදෙමින් බාබර් අසාම්, අහමඩ් ශෙෂාඩ් හා උමාර් අක්මල් යන ප්‍රබල කඩුලු 3ක්ම දවාගන්නට ශ්‍රී  ලංකා පන්දු යවන්නන් සමත් වීම කැපී පෙනුණි.

Comments