පක්ෂවල මතවාදයට කොටු නොවී ජනාධිපතිවරයා තෝරාගැනීම සියලු දෙනාගේ වගකීමයි – අර්ජුන රණතුංග

1

දේශපාලන පක්ෂවල මතවාදයට කොටු නොවී ජනාධිපතිවරයා තෝරාගැනීමට සියලු දෙනාට වගකීමක් ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ගම්පහ දඬුගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාතිවාදයට අතවනන පාලනයක් යලි අවශ්‍ය නොවන බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී රටට ආදරය කරන රටක් දියවිය හැකි නායකයෙක් රටට අවශ්‍ය බවත්, තමා සෑමදාකම එම මතයේ සිටි බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

දේශපාලන කෝනයකින් බලා මෙවර වැඩක් නොමැති බවත් පැවසු අමාත්‍යවරයා, අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් මෙවර ජනාධිපති කර ගැනීමට අවශ්‍ය බවත් එසේ නොවුනහොත් රටට විශාල කරදරයක් සිදුවනු ඇතැයි ද කියා සිටියේය.

ගිය මැතිවරණයේ දී ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කළ බවත්, ඒ තුළින් සෑහෙන වැඩ කොටසක් රටට ඉටු කළ බවත් පැවසු අමාත්‍යවරයා, කවුරු කෙසේ කීවත් මේ ආණ්ඩුව තරම් වැඩ කල ආණ්ඩුවක් නොමැති බවද පැවසීය.

ප්‍රදර්ශන නෑ , පබ්ලිසිටි නෑ ඒ නිසා දුර්වලතා ඇති බවත් පැවසු අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩුව තරම් ගමට ගොස් වැඩ කල ආණ්ඩුවක් නොමැති බවත් සඳහන් කළේය.

නමුත් මාධ්‍ය තුළින් ප්‍රචාරණය කිරීම පැත්තෙන් ආණ්ඩුව හරිම දුර්වල බවත් පැවසු අමාත්‍යවරයා, එයට කිසිවෙකුට දොස් කිය නොහැකි බවත් පැවසීය.

පක්ෂය තුළ ඇති ප්‍රශ්න විසඳා ගෙන නියම වේලාවට ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් පැවසු අර්ජුන රණතුංග මහතා, තමා එක්සත් ජාතික පක්ෂයේ නොවුනත් සියලු දෙනා එකතු වී වැඩ කටයුතු කරන්නේ නම් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත් කියා සිටියේය.

සන්ධානයක් ලෙස හරි පුද්ගලයෙක් සමඟ ගමනක් යා යුතු බවත් පැවසු අමාත්‍යවරයා, අඩුපාඩු හදා ගෙන එකට ගමනක් යා යුතු බවත් සඳහන් කළේය.

පසුගිය මැතිවරණයේ දී සියලු පක්ෂ ආණ්ඩුව සමඟ එකතු වී සිටි බවත් පැවසු රණතුංග මහතා, නිවැරදි වේලාවේ දී නිවැරදි පුද්ගලයා ඉදිරිපත් කරන බවද කියා සිටියේය.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මෙතරම් අර්බුදයකට පත්ව ඇත්තේ ඇයි දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටිමේ දී අමාත්‍යවරයා පවසා සිටියේ, එය එක්සත් ජාතික පක්ෂයේ ස්වභාවය බවත්, නමුත් නිවැරදි පුද්ගලයින් ඉදිරිපත් කර මැතිවරණ ජයග්‍රහණය කළ බවත් එය සමහර විට උප්පරවැට්ටියක් විය හැකි බවත් තමා එජාපේ නොවන නිසා ඒ අයගෙන්ම ඇසිය යුතු බවත් පැවසීය.

අර්බුද ඕනෑම පක්ෂයක ඇති විය හැකි බවත් පැවසු අමාත්‍යවරයා, හරි පුද්ගලයෙක් ඉදිරිපත් කරන්නේ නම් අනිවාර්යයෙන්ම ගිය මැතිවරණයට වඩා පහසුවෙන් ජයග්‍රහණය කරන බවත් කියා සිටියේය.

කඩා ගන්නේ නැතුව එකට සිටියේ නම්, බල තන්හාව අත්හැරීම තුළින් ජයග්‍රහණය කළ හැකි බවත් මෙය උප්පරවැට්ටියක් ද දන්නේ නෑ යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.

Comments