නව ක්‍රමයට බැරිනම් පැරැණි ක්‍රමයට මැතිවරණ පවත්වන්න

11

මැතිවරණයක් පැවැත්වීමේ වගකීම මේ වන විට මැතිවරණ කොමිසමට, පුරවැසියන්ට, අධිකරණයට හා සිවිල් සංවිධාන වෙත බාරදෙන බව විපක්ෂ නායක කාර්යාලයේ (23) පැවැති මාධ්‍ය හමුවේදී එක්සත් ජනතා නිදහස් සංධානයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කීවේය.

නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් පැරණි ක්‍රමයට හෝ මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කර දීමට කටයුතු කරන්නැයි විපක්ෂය, ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටින බව හෙතෙම කියා සිටියේය.

මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතින් දෙවැනි මන්ත්‍රණ සභාවක් යෝජනා කර ඇති බවත් ඉන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක් දැයි රටට වහා හෙළි කළ යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට පළාත් සභා මැතිවරණය ඉල්ලා ඉදිරියේදී අධිකරණ හමුවට යන බව පැවැසු ඒ මහතා ඒ සඳහා සහාය ලබාදෙන්නැයි මැතිවරණ කොමිසමෙන් පවා ඉල්ලා සිටින බව කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ජනතාධිපතිතුමා අවස්ථා කිහිපයකදී කියලා තිබෙනවා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය. අගමැතිවරයාගේ ප්‍රදානත්වයෙන් පත් කළ කමිටුව සැප්තැම්බර් 25 වැනිදායින් පසු මේ වෙනකම් රැස් වෙලා නැහැ.

දෙවන මන්ත්‍රණ සභාව ප්‍රජාතන්ත්‍රවාදි වශයෙන් වැරැදි නැහැ. එහෙත් අපේ රටේ ප්‍රජාත්නත්‍රවාදය, බලය විමධ්‍ය ගත කරන්න ආයතන කොපමන තිබෙනවද. ජනාධිපතිරයා, පාර්ලිමේන්තුවේ 225 යි පළාත් සභා නවයේ 455 යි, පළාත් පාලන ආයතන 341 තුල නියෝජිතයෝ 8690 ක් ගන්නවා. මේ සියල්ලෙම එකතුව 9406 යි. මිලියන විසි දෙකක ජනගහණයට, මිලියන 15 ක ඡන්දදායකයෝ ඉන්න රටට මහජන නියෝජිත සංඛ්‍යාවක් ඉද්දි තවත් පිරිසක් එකතු කරමින් සිදු කරන්න බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන කාරණය තේරුම් ගන්න බැහැ. ඒ නිසා මේ ගැන රටට හෙළි කළයුතුයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා.

සේනා දළඹුවා මේ වන විට සමස්ත කෘෂි කර්මාන්තය විනාශ කරමින් යනවා. මෙය වැලැක්වීමට තවමත් රජයට නිසි වැඩපිළිවළක් නැහැ. මේ පිළිබඳව කතා කිරීම සඳහා අපි විපක්ෂය විදියට පාර්ලිමේන්තුවේ දිනයක් ඉල්ලා සිටියා. ඒ අනුව මේ වන විට සිකුරාදා දිනය ඒ සඳහා ලබා දී තිබෙනවා. මෙහිදි අපි රජයේන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා හානි වූ වගාවන්වලට සහ එම ගොවීන්ට ආධාර ලබා දෙන්න කටයුතු කරන්න කියලා.

අනෙක් කාරණය තමයි මේ වන විට අපේ රටේ මැතිවරණ කිහිපයක් පැවැත්වීම රජය මඟ හරිමින් ඉන්නවා. එක්තරා පැත්තකින් මැතිවරණ උගුලකයි සියලු දෙනා වැටිලා සිටින්නේ. අපි රජයට බලකර කියා සිටිනවා වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න කටයුතු කරන්න කියලා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:

අපේ රටේ අතීතතයේ සිට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් කියන ජාතීන් ඉතා සහජීවනයෙන් ජීවත් වුණා. ඒ කිසිම කෙනෙක් තවත් කෙනෙකුගේ ආගමටත් සංස්කෘතියටත් ගැරැහීමක් කළේ නැහැ. හැබැයි මේ රජය බලයට ආව දවසේ ඉදලා නැති ප්‍රශ්න ඇති වෙමින් තිබෙනවා. අන්තවාදයන් ඇති වෙමින් තිබෙනවා. 2015 ට කලින් බාර දුන්න රටේ දකුණේ සහ උතුරේ ජනතාවත් සහෝදරත්වයෙන් තමයි කාලය ගත කළේ. අද වන විට ඒ තත්ත්වය නැති වෙමින් යනවා. ආණ්ඩුව විසින් මේ වෙන විට තිගැස්සුණු ලංකාවක් ගොඩ නගමින් ඉන්නවා. මුස්ලිම් ජනතාව අනෙක් ජනතාව සමඟ ඉන්නේ සහෝදරත්වයෙන්. මේ ඇති වන තත්ත්වයන් මුස්ලිම් ජනතාව හොදින් අවබෝධ කරගත යුතුයි.

Comments