දිවයිනට තවත් රිදී පදක්කමක්

3

ඩුබායි රාජ්‍යයේදී මේ දිනවල පැවැත්වෙන ආබාධ සහිත වූවන්ගේ (පැරා) ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී  ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට පසුගියදා සමත් විය. ආබාධ සහිත වූවන්ගේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියකදී ඔහු මෙම ඉසව්වෙන් දිනා ගත් දෙවැනි රිදී පදක්කම මෙය වීමද විශේෂත්වයකි. 

ඒ අනුව එම තරගයේදී පළමු උතච්සාහයේදීම මීටර් 60.59ක දුරක් සටහන් කිරීමට දිනේෂ් සමත් වුවද ඔහුගේ අනෙකුත් අවස්ථා 5න් එක් උත්සාහයක් හැර අනක් සියලු උත්සාහයන්ගෙන් වැළකී සිටියේය. කෙසේ වෙතත් මීටර් 60.59ක දුරක් සටහන්වූ ඔහුගේ පළමු උත්සාහයෙන්ම පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව දිනේෂ් හට උරුම විය. තරගයේ අවසානය දක්වා රන් පදක්කම දිනා ගැනීමේ බලාපොරොත්තුව ශ්‍රී  ලංකාව වෙත පැවැතුනද ඉන්දීය ක්‍රීඩක සුන්දර් සිංගේ අවසාන උත්සාහයේදී මීටර් 61.22ක දුරක් සටහන් වීමත් සමඟින් ඔහුට රන් පදක්කම හිමි වූ අතර දිනේෂ් ප්‍රියන්තට එම ඉසව්වේ රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදු විය. එහි ලෝකඩ පදක්කම මීටර් 59.46ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ අජිත් සිං හට හිමි විය.

2016 වර්ෂයේ පැවැති රියෝ පැරාලිම්පික් තරගාවලියේදී හෙල්ල විසි කිරීමෙන් ලෝකඩ පදක්කම දිනා ගත් දිනේෂ් 2017 වර්ෂයේ ලන්ඩන් නුවර පැවැති ආබාධ සහිත වූවන්ගේ මලල ක්‍රීඩා ලෝක ශූරතා තරගාවලියේදී ඉහත ඉසව්ව නියෝජනය කරමින් රිදී පදක්කම දිනා ගත්තේය.

ශ්‍රී  ලංකා යුද හමුදාවේ 3 වැනි ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව කෝප්‍රල්වරයකු ලෙස සේවය කර මේ වන විට 33 වැනි වියේ පසුවන දිනේෂ් ප්‍රියන්ත 2008 වර්ෂයේදී පැවැති මානුෂීය මෙහෙයුමේදී තුවාල ලැබීම හේතුවෙන් හමුදා සේවයෙන් විශ්‍රාම ගත්තේය. තවද හෙල්ල විසිකිරීමේ ඉසව්වේ හිටපු ජාතික ශූරයෙක් වන වර්තමානයේ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සේවයේ නියුතු ප්‍රදීප් නිශාන්ත මහතා දිනේෂ් ප්‍රියන්ත හේරත්ගේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කිරීමද විශේෂත්වයකි.

මේ අතර 2019 ආබාධ සහිත වූවන්ගේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි විය. එහි නායකයා ලෙස දිනේෂ් ප්‍රියන්ත හේරත් (ජ්46- කාණ්ඩයෙන් හෙල්ල විසි කිරීම ඉසව්ව) කටයුතු කරයි. තවද පිරිමි මීටර් 100 ඉසව් සඳහා අමිල ප්‍රශාන් (ඊ42 කාණ්ඩය) සහ ඉන්දික චූලදාසත් (ඊ42 කාණ්ඩය), පිරිමි හෙල්ල විසි කිරීම ඉසව් සඳහා චමින්ද හෙට්ටිආරච්චි (ජ්44 සහ ජ්46 කාණ්ඩවලින්) සහ සමිත දුලාන් (ජ්44 කාණ්ඩයෙන්) සහභාගි වීමට නියමිත අතර පිරිමි යගුළිය ඉසව්ව සඳහා පාලිත බණ්ඩාර (ජ්42 කාණ්ඩයෙන්) තරග වැදීමට නියමිතය. එමෙන්ම නුවන් ඉන්දික (ඊජ්44 කාණ්ඩයෙන්) සහ කුමුදු ප්‍රියන්කා (ඊජ්47 කාණ්ඩයෙන්) මීටර් 100 සහ දුර පැනීම ඉසව් වෙනුවෙනුත් බුද්ධික ඉන්ද්‍රපාල පිරිමි දුර පැනීම ඉසව්ව සඳහාත් ශ්‍රී  ලංකාව නියෝජනය කිරීමට නියමිතය. ලුතිනන් කර්නල් දීපාල් හෙරත් මහතා මෙම ශ්‍රී  ලංකා කණ්ඩායමේ කළමනාකරුවා ලෙසින් ද, මේජර් එම්. රිස්වි මහතා මෙම කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙසත් කටයුතු කරන අතර ප්‍රදීප් නිශාන්ත මහතා ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරයි.

Comments