ජනපතිවරණය පැවැත්වෙන්නේ මෙහෙමයි….

4

මෙවර ජනාධිපතිවරණය බොහෝදුරට සතියේ දිනක පැවැත්වීමට ඉඩ ඇති බව වාර්තාවේ.

ජනාධිපතිවරණය නොවැම්බර් 19දාත් 30 වැනිදාත් අතර දිනයක පැවැත්වෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා නොවැම්බර් 23 සහ දෙසැම්බර් 7 යන දිනයන් යොදා නොගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය “මව්බිම”ට  පැවැසීය. 

ජනාධිපතිවරණය සෙනසුරාදා දිනයකම පැවැත්විය යුතු බවට නීතියක් නැතැයිද සභාපතිවරයා  සඳහන් කළේය. 

ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගැනීමෙන් පසු ප්‍රමාදයකින් තොරව ඡන්දය කඩිනමින් පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සංවිධානය කෙරෙමින් පවතින අතර මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන් වෙනුවෙන් වෙන්කර ඇති වාහන හැර සියලුම වාහන ලැයිස්තුගත කර ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මඟින් උපදෙස් දී ඇත. 

නොවැම්බර් 18 වැනි දිනයද ජනාධිපතිවරණය පැවැත්වීම ස¼දහා යොදා නොගැනීමට බෙහෙවින් ඉඩ ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය යෙදී ඇත්තේ ද නොවැම්බර් 18 වනදාය. 

ජනාධිපතිවරණය දෙසැම්බර් 7 වැනි දිනට පෙර පැවැත්විය යුතුව ඇතත් දෙසැම්බර් මාසය මුල් සතියේ අ.පො.ස. (සාමාන්‍ය) පෙළ විභාගය පැවැත්වෙන බැවින් එම සතිය තුළද ඒ සඳහා දිනයක් නියම කළ නොහැකිව ඇත. 

නොවැම්බර් මස දෙවැනි සතියේ 12 වැනිදා පුර පසළොස්වක පොහොය යෙදී ඇති බැවින් ජනාධිපතිවරණ කටයුතු සඳහා එම සතිය යොදා ගැනීමටද මැතිවරණ කොමිෂන් සභාවට ගැටලුවක් වී ඇති බව දැනගන්නට ඇත. 

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමෙන් පසු නොවැම්බර් මාසය තුළ මැතිවරණය පැවැත්වීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇත.

Comments