“කූඹියෝ” රැල්ල ගැන දෙවෙනි ඉනිමේ තාත්තා මුල්වරට කියපු කතාව මෙන්න

9

වේදිකාව, සිනමාව මෙන්ම පුංචි තිරයේද ඔහු දක්ෂයෙකි. වේදිකාවෙන් ලැබූ පන්නරය ඔහුගේ ජීවිතයට ඉතාමත් තෝතැන්නකි. මේ දිනවල ජනප්‍රියතම ටෙලි නාට්‍යයක් වන ‘දෙවෙනි ඉනිම’ ඔස්සේද ඔහුව දැක බලා ගැනීමට හැකියාව තිබේ. එමෙන්ම පසුගියදා වේදිකා ගත වූ ‘හිතලා ගත්තු තීරණයක්’ වේදිකා නාට්‍ය තුළින්ද ඔහු රසිකයන් අතරට පැමිණියේය. ඔහු නමින් ධර්මප්‍රිය ඩයස්ය. සිය කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට ඔහු මෙලෙස එක්විය.

මේ දවස්වල මොකද වෙන්නේ ?

රාජිත දිසානායකගේ අලුත්ම වේදිකා නාට්‍යය වන ‘හිතලා ගත්තු තීරණයක්’ නාට්‍යයේ වැඩත් එකක් තමයි මේ දවස්වල වැඩකටයුතු සිදුවෙන්නේ. එහි මංගල දර්ශනය 09 සහ 10 වැනිදා ලයනල් වෙන්ට්ඩ් එකේදී පැවැත්වුවා. ඒ කටයුතු එක්ක තමයි වැඩිපුර කාලය ගත කළේ.

‘හිතලා ගත්තු තීරණයක්’ සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතා හොඳ ප්‍රතිචාර තියෙනවා. නාට්‍යයටත්, චරිතයක් නිරූපණය කරපු මටත්, අනෙක් රංගන ශිල්පීන්ටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං හිතනවා හැමදෙනාටම හොඳ ප්‍රතිචාර තියෙනවා කියලා. හැමෝටම ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.

ඔබ වැඩිපුර දායකත්වය දෙන්නේ කුමණ නිර්මාණයන්ටද?

ඇත්තටම මම වැඩිපුරම ඉඳලා තියෙන්නේ වේදිකාවේ. ආසම චිත්‍රපටවලට. නමුත් ඒ සඳහා වැඩිපුර දායක වෙලා නැහැ. ටෙලි නාට්‍යයවලට කැමතිත් නැහැ. අකමැතිත් නැහැ. හැබැයි වේදිකාවෙන් පස්සේ වැඩිපුරම දායක වෙලා තියෙන්නේ ටෙලි නාට්‍යවලටයි. හොඳ චරිතයක් ලැබෙනවා නම් ඕනම එකකට ඉතාමත්ම කැමතියි. දැනටත් ඉඳලා තියෙන අත්දැකීම් අනුව තමයි කියන්නේ.

දෙවෙනි ඉනිම නාට්‍යය රැල්ල හේතුවෙන් අනෙකුත් නිර්මාණ සඳහා වැඩි ඉඩක් මාධ්‍ය තුළින් ලැබෙන්න ගත්තා නේද?

දෙවෙනි ඉනිම ජනාදරයට පත් වුණා කියලා ඒකම කිය කියා ඉන්න ඕනේ නැහැ. අනිත් නිර්මාණකරුවෝ, අනිත් නාළිකාවලින් තව තව අලුත් මානයන්, අලුත් අදහස් සහ අලුත් පිටපත් එක්ක මහන්සි වෙලා වැඩකරා නම් හරි. “දෙවෙනි ඉනිම” වගේම ඒවා ආයේ කරන්න ඕනේ නැහැ. එක කාලයක් “කූඹියෝ” රැල්ලක් ආවා. ටෙලි නාට්‍යය කලාව කණපිට පෙරළුවා. නමුත් ඒක අවුරුදු දෙකහමාරක් තුනක් විතර කිසිම නාළිකාවකින් විකාශය කරන්න ගත්තේ නැහැ. කට්ටිය බය වුණා. හැබැයි විකාශය වුණායින් පස්සේ හිතා ගන්න බැරි වුණා. නාළිකා මට්ටමින් බුද්ධිමත් වෙන්න ඕනා. අලුත් අලුත් දේවල්වලට අත ගහලා, ඒ දේවල් විකාශය කරලා පාඩු වෙන්නේ නැහැ කියන තැන ඉන්න ඕනේ. හැබැයි ඒකට නිර්භීතකම තියෙන්නත් ඕනේ සහ ඒක හඳුන ගන්න හැකියාව සහ ඉව තියෙන්නත් ඕනේ. කවුරු හරි හාමුදුරුනමක් දාලා නාට්‍යයක් කරලා ජනප්‍රිය වුණොත් අන්න ආයේ අපිත් දානවා හාමුදුරුවෝ කෙනෙක්. ඒවගේ දේවල් කරන්න නරකයි. ලෝකයේ තව තව දේවල් තියෙනවා නිර්මාණක් ඇතුළේ කතාකරන්න. චැනල්වල ඕවා තෝරන අයට හැකියාව තියෙන්න ඕනේ මේ දේවල් තෝරලා බේරලා ගන්න. ඒක නැතිකම තමයි අපිට මෙච්චර වැරදුනේ කියලා තමයි මට හිතෙන්නේ.

වර්තමාන කලා ක්ෂේත්‍රය පිළිබඳ ඔබේ අදහස?

කලා ක්‍ෂේත්‍රය ගැන කියනවා නම්, කවදත් අලුත් පරපුර එකතු වෙනවානේ. ඒ දේ නම් සිද්ධ වෙනවා. නවකතා ගත්තත්, චිත්‍රපට ගත්තත්, ඡායාරූප ගත්තත් අවුරුද්දෙන් අවුරුද්ද දේවල් එකතු වෙනවා. අලුත් නිර්මාණ එකතු වෙනවා. ඒක මට ලොකු විශ්ලේෂණයක් කරන්න තරම් දෙයක් නැහැ කියලා හිතෙනවා. හැබැයි, නිර්මාණකරුවෝ බිහිවෙන්න ඕනේ ජනතාවගේ පැත්තෙන් දකින අය මිසක්, දේශපාලකයන්ගේ ඇහෙන් සමාජය දකින නිර්මාණකරුවෝ නෙමෙයි.

චිත්‍රපට සඳහා වැඩි කැමැත්තක් තිබුණත් ඇයි චිත්‍රපට සඳහා අඩු දායකත්වයක් ලබා දෙන්නේ? නිර්මාණ සඳහා ආරාධනා ලැබෙන්නේ නැද්ද?

චිත්‍රපටයකට අඬ ගැහැව්වොත්, මට හොඳයි කියලා හිතෙනවා නම් මම දායක වෙනවා.

ඒ කියන්නේ තෝරා බේරා ගැනීම් එක්කයි නිර්මාණවලට දායක වෙන්නේ?

මෙහෙම දෙයක් තියෙනවා. කොහොමත් කලින් පිටපතක් කියවලානේ ඕනෑම නිර්මාණයකට දායක වෙන්නේ. වේදිකා නාට්‍යයක් වුණත් එහෙමනේ. පිටපතක් කියවනවා කියන්නේ, චරිත තෝරා බේරා ගැනීමක් කරනවා එහෙම නෙමෙයි. වැඩේ කොහොමද? සුදුසු දෙයක්ද කියන දේ තීරණය කරන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි ඒ තුළින් මම සතුටු වෙනවාද කියන කාරණාව බලන්න ඕනේ. මම සතුටු වෙන්නේ නැත්නම් කරලා වැඩක් නැහැනේ. මට හිතෙනවා මගේ තරුණ කාලේ මීට වැඩිය චිත්‍රපටවලට දායක වෙන්න ලැබුණා නම් හොඳයි කියලා. ඒ කාලේ ලොකුවට චිත්‍රපට කර්මාන්තය තුළ චිත්‍රපට හැඳුනෙත් නැහැ. දැන් මේ ඩිජිටල් කතන්දර එක්ක හෝ දැන් තරුණ පරම්පරාව චිත්‍රපටවලට අතගහලා තියෙනවා. කර්මාන්තයක් විදිහට මේක ‍තව ගොඩ නැගෙන්න තව ගොඩාක් දුර යන්න ඕනේ. ඒක එහෙම වෙන එක අපිට වගේම රටටත් හොඳයි.

වර්තමාන රසිකයන්ගේ වේදිකාවට ඇති නැඹුරුව කොහොමද?

වේදිකා නාට්‍යවලට කවදාකවත් අපිට නම් ප්‍රේක්ෂකගාරයේ අඩුපාඩුවක් වෙලා නැහැ. මම අවුරුදු 20ක් විතර වෙනවා නාට්‍යය කරන්න පටන් අරගෙන. මම සම්බන්ධ වෙච්ච කිසිම නිර්මාණයකට ප්‍රේක්ෂකාගාරයේ අඩුපාඩුවක් වෙලා නැහැ. ඒක තව දුරටත් අලුත් වුණා රාජිත දිසානායකගේ %හිතලා ගත්ත තීරණයක්^ නාට්‍යයේ මංගල දර්ශන දෙකම බලන්න හවුස් ෆුල් වෙන්නම සෙනඟ ආවා. රටේ කොයිතරම් වාතාවරණයක් තිබ්බත්, මොන දේශපාලන තත්ත්වයක් පැවතුනත්, එහෙම සෙනඟක් එක්ක ප්‍රේක්ෂකාගාරය පිරෙන එක ගැන මට සතුටක් තියෙනවා.

ඉදිරි නිර්මාණ සහ බලාපොරොත්තු ගැන කිව්වොත්?

ලබන අවුරුද්දේ නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තාම හරි තීරණයක් නැති වුණත් ලබ අවුරුද්දේ කරනවා. දැනට නම් ඒවගේ අදහසක් තමයි තියෙන්නේ. ඊට අමතරව ප්‍රියන්ත කළුආරච්චිගේ % රතු සමනල සිහිනයක්^ චිත්‍රපටය, අශෝක හඳගමගේ %අසංධිමිත්තා^ චිත්‍රපටය, අසම කියලා මල්ලි කෙනෙක්ගේ “කොලම්බෝ” චිත්‍රපටය වගේ නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා. තව ටෙලි නාට්‍යය කිහිපයක් එන්න තියෙනවා. ඒ වගේම වේදිකා නාට්‍යයක් කරන්න හිතන් ඉන්නවා.

Comments