කිලෝග්‍රෑමය (KG) වෙනස් වෙයි

3

මේ වන විට කිලෝග්‍රෑමය අර්ථ දක්වනුයේ, ප්‍රංශයේ පැරිස් නුවර සේප්පුවක තබා ඇති “Le Grand K” නමැති ප්ලැටිනම් උපකරණයක් භාවිත කරමිනි.

එම ක්‍රමය අත්හැර කිලෝග්‍රෑමය විද්‍යුත් තරංග භාවිතයෙන් අර්ථ දැක්වීමේ ක්‍රමවේදයකට අවතීර්ණ වීම සඳහා ඡන්ද විමසීමකට පර්යේෂකයින් පිරිසක් බලාපොරොත්තුවෙන් සිටිති.

මෙම තීන්දුව ගත යුත්තේ, ප්‍රංශයේ පැවැත්වෙන බර සහ මිනුම් සම්බන්ධ මහා සම්මේලනයේදීය.

කෙසේ වෙතත්, පර්ඩේ විලියම්ස් ඇතුළු විද්‍යාඥයින් කිහිප දෙනෙකු මෙම වෙනස් කිරීම සම්බන්ධයෙන් මිශ්‍ර අදහස් පළ කර තිබේ.

පර්ඩේ විලියම්ස් පැවසුවේ, “මේ ව්‍යාපෘතියෙ මම වැඩි කාලයක් වැඩ කළේ නැහැ. ඒත් මට හිතෙන්නේ මේක කිලෝග්‍රෑම් එකට කරන විකාර වෙනසක් කියලා” යනුවෙනි.

“මොනවා වුණත් මේක ලොකු වැඩක්. මේ වෙනස ගැන මට ටිකක් දුකයි. ඒත් ඒක වැදගත් පියවරක් එය ක්‍රියාවට නැගීම හොඳ දෙයක් විය හැකියි. මම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ ඒක සිද්ධ වෙනකම්”

Le Grand K උපකරණය බර මැනීම සඳහා වන ජාත්‍යන්තර ක්‍රමවේදය ලෙස භාවිතයට ගැනුණේ, 1889 වසරේ සිටය.

එහෙත්, කිලෝග්‍රෑමය නිර්ණය කරන ප්‍රධාන උපකරණය මේ වන විට පැරණි වී තිබේ. වසර ගණනක් තිස්සේ පරිහානියට පත්වීමෙන් එහි බර වෙනස් වී තිබේ. කිලෝග්‍රෑමය කිසිදා වෙනස් විය නොහැකිය. එහෙයින්, එය නිර්ණය කිරීම ක්‍රමානුකූලව වෙනස් විය යුතුය.

දියුණු ඖෂධ නිෂ්පාදනය, නැනෝ තාක්ෂණය සහ නිරවද්‍ය ඉන්ජිනේරු ක්‍රම වර්ධනය වෙමින් පවතින වත්මන් ලෝකයේ වඩා නිවැරදි මිනුම් ක්‍රම අවශ්‍ය වී ඇති හෙයින් Le Grand K වැනි ක්‍රම වෙනස් විය යුතුය.

Comments