කඩිමුඩියේ හදපු ව්‍යස්ථාවේ දරුණුතම ප්‍රතිඵලය හෙට

1

“කඩිමුඩියේ සකස් කරන ලද, පිළිවෙළක් නොමැති, යොදා ඇති භාෂාවේ දුර්වලකම්වලින් යුක්ත, අවශ්‍ය වදන්වලින් තොර හා අනවශ්‍ය වදන්වලින් පිරුණු නව ව්‍යවස්ථාව අනාගතයේ දී නීතිවේදීන්ගේ වාසියට පමණක් හේතුවන, කෙස්පළන තර්ක විතර්ක ඉස්මතු කරන ව්‍යවස්ථාවක් වනු ඇත”. ඉහතින් දැක්වූයේ ආචාර්ය එන්.එම්. පෙරේරා විසින් ලියා 1978 වර්ෂයේ දී ප්‍රකාශයට පත්කළ ‘1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක්’ යන කෘතිය තුළ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කරන ලද පුරෝකතනයක්ය.

පුරෝකතනය ආචාර්ය එන්.එම්. පෙරේරා විසින් කරනු ලැබූයේ මෙයට අවුරුදු 40 කට පෙරදීය. මෑතක දී තවත් දේශපාලන විචාරකයකු 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විවරණයක් මගින් කියා තිබුණේ ස්විස් චීස් පෙත්තක තිබෙනවාට වඩා වැඩි හිල් ප්‍රමාණයක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබෙන බවය. අද මේ රට මුහුණ දී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය දෙස බලන විට ඉහත දැක්වූ විශ්ලේෂණ කොතරම් නිවැරැදිද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ.

එක් අතකින් බලන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වූ කලී ධාවනය සඳහා ජවය සපයන මෝටරයක් සහිත වාහනයක් නමුත් ධාවනය කිරීම අවශ්‍ය අවස්ථාවන් හිදී පාලනය කිරීම සඳහා භාවිතයට ගැනීම පිණිස යොදන ලද තිරිංග සහිත වාහනයකට සමාන වේ. මෙයින් අදහස් කරන්නේ ආණ්ඩුවකට ක්‍රියාත්මක වීමේ බලය සහ ඉදිරි දර්ශනය සැපයෙන මෝටරය හෙවත් යාන්ත්‍රණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන බවය. අනෙක් අතට ක්‍රියාත්මක වීම සඳහා ආණ්ඩුවට සපයන බලය පාලකයන් විසින් අත්තනෝමතික ලෙස අවභාවිත කරන්නේ නම් එම තත්ත්වය පාලනය කරමින් ආණ්ඩුක්‍රමය නිවැරැදි මාවතේ ගමන් කරවීමේ වගකීම පැවරුණ තිරිංගය වන්නේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන බවය. මෙයින් පෙනී යන්නේ රටක් තුළ විධිමත් පාලනයක් පවත්වා ගෙනයාම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කොතරම් වැදගත් කාර්යභාරයක් පැවරෙනවාද යන්නය. මෙම වැදගත්කම නිසාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් පිළිගත් එක් පොදු මතයක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සරල සහ නිරවුල් භාෂාවකින් ලියා තැබීම අවශ්‍යයෙන්ම කළයුතු දෙයක් වන බවය. ඒ සමඟම පිළිගත් තවත් අදහසක් වන්නේ කෙස් පැළෙන තර්කවලට මඟ පාදන ආකාරයේ වචන සහ අර්ථකථන යෙදීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වියුක්ත විය යුතු බවය.

මේ සම්බන්ධයෙන් පිළිගෙන ඇති තුන්වන මතය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑම අතකින්ම පරිපූර්ණ එකක් විය යුතුවාක් මෙන්ම හැකිතරම් කෙටි එකක් ද විය යුතු බවය. මෙම කොන්දේසිවලින් වියුක්ත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නියත ලෙසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුද ඇතිවීම කෙරෙහි මග පාදනු ලැබේ. මේ අනුව කිව හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ගොඩනඟා තිබෙන ආණ්ඩුකරණය හා සම්බන්ධ බලධාරී අායතන පද්ධතිය අපූර්ණතාවලින් යුක්ත වන්නේ නම් සහ ව්‍යවස්ථාව තුළ භාවිතයට ගෙන තිබෙන වචන, වාක්‍ය සහ ඡේද අවුල් සහගත වන්නේ නම් එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආශ්‍රිතව ව්‍යවස්ථානුකූල අර්බුද හට ගැනීම නොවැළැක්විය හැකි බවය. ඒ කෙරෙහි එක් අතකින් බලපාන්නේ එවැනි ව්‍යාකූල තත්ත්වයන් පවතින විට නීතිඥයන් විසින් තමන්ට හිතෙන හිතෙන ආකාරයට තමන්ගේ දේශපාලන ආශාවන් හා ඕනෑ එපාකම්වලට ගැළපෙන අයුරින් ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමට පෙළඹීමය. අනෙක් අතින් එම අර්ථකථන අතුරින් තමන්ට ගැළපෙන දේ තෝරා බේරාගෙන පාලකයන් දේශපාලන තීන්දු තීරණ ගැනීමට පෙළඹීමය. අද අපේ රට තුළ පැනනැඟී තිබෙන ව්‍යවස්ථා අර්බුදය කෙරෙහි මූලික වශයෙන් බලපා තිබෙන්නේ මෙම තත්ත්වය බව කරුණු විමසීමේ දී පැහැදිලිවම පෙනී යයි.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය ඇතිවීම කෙරෙහි බලපා තිබෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත ව්‍යුහාත්මක දුර්වලතා තුනක් දැක්විය හැක. එයින් එකක් වන්නේ 1978 ව්‍යවස්ථාව යටතේ දේශපාලන විධායකය සංවිධානය කර තිබෙන ආකාරයයි. දෙවැන්න වන්නේ දේශපාලන විධායකයේ කොටසක් වන අගමැතිවරයා පත් කිරීම සහ ඉවත් කිරීම හා සම්බන්ධ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය. තුන්වැන්න වන්නේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව කැඳවීම, කල් තැබීම සහ විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට බලය පැවරී තිබෙන ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ගොඩනඟා තිබෙන්නේ දෙමුහුන් විධායකයක්ය. 1958 වර්ෂයේ දී ප්‍රංශයේ ඩිගෝල් සෙනෙවියා විසින් ස්ථාපිත කළ පස්වන සමූහාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හඳුන්වා දුන් දෙමුහුන් දේශපාලන විධායක ක්‍රමය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී එහි නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන විසින් ද අනුගමනය කරන අතර ඒ අනුව ගොඩනැගූ විධායකය සමන්විත වන්නේ ජනාධිපතිවරයකුගෙන්, අගමැතිවරයකුගෙන් සහ අමාත්‍ය මණ්ඩලයකින්ය. ජනාධිපතිවරයා සෘජුවම ජනතාව විසින් සය අවුරුදු නිල කාලයක් (19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් නිල කාලය අවුරුදු පහ දක්වා අඩු කරන ලදී) සඳහා තෝරා පත් කරන අතර විධායකයේ අනෙක් කොටස වන අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් අතුරින් තෝරා ගතයුතු බව ව්‍යවස්ථාවේ සඳහන් වේ. ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා තෝරා පත් කිරීමේ දී පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත හැසිරවිය හැකි මන්ත්‍රීවරයා ඒ සඳහා පත් කිරීමට වගබලා ගතයුතු බව ව්‍යවස්ථාවේ තවදුරටත් සඳහන් වේ. මෙම දෙමුහුන් විධායකය ගැටුම්වලින් තොරව කාර්යක්‍ෂමව ක්‍රියාත්මක වීමට නම් විධායකයේ කොටස් දෙකම එකම දේශපාලන පක්‍ෂයකින් තේරී පත්වීම අවශ්‍යම වන අතර එසේ නොවුණහොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක් විය හැකිද යන කරුණ කෙරෙහි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් අවධානය යොමු කළ බවක් දැකිය හැකි නොවේ. වෙනත් ආකාරයකින් කියනවා නම් මෙයින් අදහස් කරන්නේ ජනාධිපතිවරයා එක් දේශපාලන පක්‍ෂයකින් සහ අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වෙනත් දේශපාලන පක්‍ෂයකින් තේරී පත්වුව හොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක් විය හැකිද යන්නය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා ගත වී ඇති අවුරුදු 40 ක කාලය තුළ තුන් වතාවක්ම මෙම ප්‍රශ්නය පැනනැඟුණ ආකාරය දැකිය හැක. මෙයින් ප්‍රථම අවස්ථාව වන්නේ 1993 වර්ෂයේ දී ඩී.බී. විජේතුංග ජනාධිපති තනතුර දරන අවස්ථාවේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැති තනතුරට පත් වීමය. විජේතුංග ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක තේරී පත්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්ය. මෙම අවස්ථාවේ දී ඇතිවුන අර්බුදය විසඳා ගැනීමට බෙහෙවින්ම උපකාර වූයේ එක් අතකින් විජේතුංග ජනාධිපතිවරයා අනුගමනය කළ නම්‍යශීලී රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියයි. අනෙක් අතින් 1994 වර්ෂයේ දී පැවති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති තනතුරට පත්වීම සහ එම වර්ෂයේ දීම පැවැත්වූ මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජයග්‍රහණය කොට එම පක්‍ෂයේම මහින්ද රාජපක්‍ෂ අගමැති තනතුරට පත් වී විධායකයේ කොටස් දෙකම එකම දේශපාලන පක්‍ෂයකට හිමිවීමය. මෙම අර්බුදය දෙවන අවස්ථාවට ඇතිවූයේ 2002 වර්ෂයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය සහ එක්සත් ජාතික පක්‍ෂයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතරය. එම අවස්ථාවේ දී එම අර්බුදය විසඳුණේ ව්‍යවස්ථාවේ 70.1 වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වීමෙන් අනතුරුවය. මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් බැවින් එම පක්‍ෂයේ මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකට හැකිවීම හේතුවෙන් අර්බුදය නිමාවට පත්විය.

මෙම අර්බුදය තුන්වන වතාවට ඇතිවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්‍ෂයේ අගමැති රනිල් වික්‍රමසිංහ අතරය. අර්බුදය හට ගැනෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ 26 වන දින අගමැති රනිල් වික්‍රමසිංහ තනතුරෙන් පහ කිරීමත් සමඟය. මෙවර ඇති වූ අර්බුදය පසුගිය අවස්ථා දෙකට වඩා අතිශයින්ම සංකීර්ණ සහ විසඳීමට අපහසු එකක් බවට මේ වනවිට පත්ව ඇත. ඒ කෙරෙහි බලපා ඇති එක් හේතුවක් වන්නේ ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරෙන් ඉවත් වීම ප්‍රතික්‍ෂේප කිරීමය. අනෙක් හේතුව වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කලින් අවස්ථා දෙකෙහිදී ජනාධිපතිවරයා ක්‍රියාවට නැංවූ බලය 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ වාරණයට ලක් කර තිබීමය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර අලුතින් තේරීපත් වූ පාර්ලිමේන්තුවක් එසේ තේරීපත් වී වසරක් ගතවූ පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමි වුවද 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් එම කාල සීමාව අවුරුදු හතර හමාරක් දක්වා දීර්ඝ කරනු ලැබීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මෙම විධිවිධානයට පටහැනිව බව සමහර නීතිඥයන් තර්ක කරන අතර තවත් සමහර නීතිඥයන්ගේ මතය වන්නේ ව්‍යවස්ථාවේ 33.2(ඇ) වගන්තියට අනුව ජනාධිපතිවරයාට එම බලය හිමිවන බවය.

මේ සම්බන්ධයෙන් කවුරුන් හරිද යන්න තීරණය වන්නේ දෙසැම්බර් 07 දින ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුව අනුවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42.4 සහ 46.2 යන වගන්ති දෙක සම්බන්ධයෙන් එකිනෙකට පටහැනි අර්ථ නිරූපණ ඉදිරිපත් වීම වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය ඇතිවීම කෙරෙහි බලපා තිබෙන දෙවන හේතුව ලෙස පෙන්වා දියහැක. මෙයින් 42.4 වගන්තියෙන් ප්‍රකාශ වන්නේ අගමැතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතුවන බලය පිළිබඳවය. එම වගන්තියට අනුව ජනාධිපතිවරයා විසින් අගමැති තනතුරට පත්කළ යුත්තේ ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයාය. මෙහිදී මතුවන ලොකුම ගැටලුව වන්නේ ජනාධිපතිවරයාගේ මතය යන පදය අර්ථකථනය කරන්නේ කෙසේද යන්නය. 46.2 වගන්තියේ සඳහන් වන්නේ අගමැති තනතුර හිස්වන අවස්ථා පිළිබඳවය. මෙම වගන්තියේ එක් තැනක සඳහන් වන්නේ අමාත්‍ය මණ්ඩලය විසිරී ගිය විටක අග්‍රාමාත්‍ය තනතුර හිස්වන බවය. මෙය අතිශයින්ම අවුල් සහගත ප්‍රකාශයක් වේ. හේතුව අගමැතිවරයා ඉල්ලා අස්වීම, මියයාම, විශ්වාසභංග යෝජනාවක් මගින් ඉවත් කිරීම සහ අයවැය පනත පරාජය කිරීම යන අවස්ථා හැරුණ විට අමාත්‍ය මණ්ඩලය විසිරී යන වෙනත් අවස්ථාවක් ව්‍යවස්ථාවේ සඳහන් නොවීමය. එසේ වුවද සමහර නීතිඥයන් මෙම ප්‍රකාශය අර්ථකථනය කළේ සම්මුති ආණ්ඩුවක එක් පාර්ශවයක් සම්මුතියෙන් ඉවත් වූ විට එය කැබිනට් මණ්ඩලය විසිර ගියා සේ සැලකිය හැකි බවය. මෙම අර්ථ නිරූපණය හරිද වැරැදිද යන්න පිළිබඳව නීතිඥයන් අතරම පොදු එකඟතාවක් නොවූවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ තනතුරෙන් පහකිරීම සඳහා යොදා ගත්තේ මෙම අර්ථකථනයයි.

ඉහතින් දැක්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබිය හැකි ව්‍යුහාත්මක දුර්වලතා සහ අර්ථය අපහැදිලි වචන යෙදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුද යටගැනීම කෙරෙහි කොතරම් බලපෑමක් සිදු කරනවාද යන්නය. මෙවැනි අර්බුදකාරී අවස්ථාවක් පැනනැඟුන විට දේශපාලන විධායකය කළ යුත්තේ නීතිය අර්ථකථනය කිරීමේ බලධාරී ආයතනය වෙත ප්‍රශ්න සහගත කරුණ යොමුකොට එහි මතය විමසා බලා ඒ අනුව තීන්දු තීරණ ගැනීමය. ලංකාවේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ ගැන විමසීමය. එහෙත් ජනාධිපතිවරයා මේ දක්වාම එසේ කළේ නැතිවා පමණක් නොව ඔහු විසින් ගත් සෑම තීන්දුවක්ම ගනු ලැබූයේ තමන්ගේ තීන්දු සාධාරණීකරණය කිරීම සඳහා පෞද්ගලික නීතිඥයන්ගෙන් ලබාගත් නීති උපදෙස් අනුවය. එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය ව්‍යසනයක් බවට පත්වීම පුදුමයට කරුණක් නොවේ.

(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා)

Comments