එඩ්වඩ් සහ චරිතාගේ පුතා සියල්ල පසෙක දමා නිරාශා සමඟ පැටලෙයි

5

විශාරද එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප‍්‍රියදර්ශණී පීරිස් යුවලගේ පුතු චන්දීප ජයකොඩි පසුගිය දිනවල හිටියේ ලංකාවේ නෙවෙයි. ඕස්ටේ‍්‍රලියාවට ගිහින් හිටියේ. ‘නිරාශා’ හමුවෙන්නලූ මේ විදියට ඕස්ටේ‍්‍රලියාවට ගියේ. කවුද මේ කියන නිරාශා? ඒ ගැන සහ චන්දීපගේ ජීවිතයේ අලූත්ම විස්තර කීවේ මෙලෙසිනි.

චන්දීප කවුද මේ නිරාශා?

ටෙලිනාට්‍යයක්.

ඒ කියන්නෙ ඔබ දැන් ටෙලිනාට්‍ය රංගනයට ඇවිත්?

ඔය මගේ ප‍්‍රථම රඟපෑම නොවෙයි. මුලින්ම රඟපෑවෙ උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ‘හිරිපොද වැස්ස’ චිත‍්‍රපටයේ. පසුව ජෙරෝමි ද සිල්වාගේ ඔලිවර් ටූවිස්ට් ඉංග‍්‍රීසි වේදිකා නාට්‍යයේ රඟපෑවා. කොහොමටත් මම පාසැල් ගිය කාලයේ ඉඳලම වේදිකා නාට්‍යවල රඟපෑවා. මම ඉගෙන ගත්තෙ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ. පාසලේදී ෂේක්ස්පියර් ඩ‍්‍රාමාවල රඟපෑවා. ඒ විදියට ආ ගමනක් තමයි මේ. පාසලේදී සංගීතයට මාව යොමු කළේ හර්ෂ මාකලන්ද සර් සහ ආශාන්තිගේ අම්මා. මාකලන්ද මාස්ටර් තමයි අම්මාටත් තාත්තාටත් මගේ හැකියාව ගැන කියලා තිබුණෙ. ඉතින් ඒ වගේ තවත් බොහෝ දෙනෙකුට ස්තූතිය පුදන්නට ඕනෑ.

එතකොට රංගනය ඔබට අමුතු දෙයක් වෙලා නැහැ?

රංගනයට පැමිණිමේදී එය ඇත්තටම අමුතු දෙයක් විදියට තමයි මට දැනුණේ. රඟපෑමට යන සෑම මොහොතකම ඒ හැඟීම තියෙනවා. ඒ මොහොතට අනුගතව නිර්මාණශීලීවීම සහ ඊට අනුගතවීම තමයි දක්ෂතාවය වන්නේ. ඒක ටික ටික පුරුදුවෙමින් සිටිනවා. ඒ වගේම රඟපෑම ගැන ඇත්තටම ඉගෙන ගනිමින් ඉන්නෙ.

ටෙලිනාට්‍යක රඟපාන ප‍්‍රථම අවස්ථාව නේද මේ?

ඔව්. මෙය මගේ ප‍්‍රථම ටෙලිනාට්‍ය චරිත රංගනයයි. හැබැයි මේ චරිතය මට ආධුනික වුණේ නැහැ.

ඒ කිව්වේ?

මේ චරිතය සංගීතය උගන්වන ගුරුවරයකුගේ චරිතයක්. දිනක්ෂි ප‍්‍රියසාද් අක්කා ලෙසත්, විනීතා පෙරේරා නංගී ලෙසත් රඟපානවා. මම සංගීතය උගන්වන්නෙ නංගීට. විනීතා පෙරේරාගෙත් පළමු ටෙලි නාට්‍යය මෙයයි. මට කරන්න තියෙන්නෙ එයාට ගිටාර් උගැන්වීමයි. සාමාන්‍ය ජීවිතයේදීත් මගේ භූමිකාව ඒකමයි. සංගීතය හා බැඳුණු දේ තමයි කරන්නෙ. ඒ නිසා මෙය මගේ සැබෑ ජීවිතය වගේම වුණා. මෙහි රඟපාන අතරේ මට ගීත ගයන්නත් තිබුණා.

අලූත්ම ගීතද ගායනා කළේ?

මගේ කලින් ගායනා කළ ගීත වගේම අලූත්ම ගීතය වන ‘වසන්තයේ’ ගීතයත් ගායනා කළා.

ගැයුම, වැයුම සහ රැුඟුම යන අංශ තුනම කරන්නද කල්පනාව?

එහෙමම කියලා නැහැ. මගේ ජීවන රිද්මය වන්නේ සංගීතයයි. සංගීතය ටික කාලයකට හරි නතර වුණේ උසස් අධ්‍යාපනය සඳහා ඔස්ටේ‍්‍රලියා ගිය නිසයි. ඒත් එහිදීත් මම නිකම්ම හිිටියේ නැහැ. ඉඩ ලැබුණු සෑම වෙලාවකදීම පුරුදු පුහුණුවීම් කළා. එහි සිටි කෙටි කාලයේදී ගීත 15ක් විතර ලියමින් ඒවාට තනු නිර්මාණය පවා කළා. ඉංග‍්‍රීසි ගීත කීපයකුත් කළා. ඒ විදියට කළ ගී අතරින් පළමු ගීතය ලෙස ‘රූ මාරුතේ’ එළිදැක්වූවා. ඉදිරියේදී තවත් ගීත කීපයක්ම කරළියට ගෙන ඒමේ සූදානමින් සිටින්නේ.

උපාධියට කළේ?

මූල්‍ය කළමනාකරණය.

දැන් ඒ අංශය ගැන හිතන්නෙ නැද්ද?

සංගීතය එක්ක කාර්ය බහුල නිසා ඒ ගැන හිතුවෙ නැහැ. ඒත් ඒ ගැන උනන්දුවක්, ආසාවක් ආවොත් සංගීතය වගේම එම අංශයෙනුත් වටිනා දෙයක් සිද්ධ වේවි.

මේ දිනවල නියැලී සිටින වෙනත් සංගීත කටයුතු මොනවාද?

‘ටෝන් පොයම්’ සංගීතමය වැඩසටහන වෙනුවෙන් සංගීත අධ්‍යක්ෂණය කරනවා. දිනේෂ් සුබසිංහ ප‍්‍රවීණ සංගීතවේදියා තමයි එහි සංගීත අධ්‍යක්ෂණය කරන්නෙ. ඒ අතරේ මටත් අවස්ථාවක් ලැබුණා. සමහරදාට අපි දෙන්නම සුහදව එකම වැඩසටහන වෙනුවෙන් සංගීතය මෙහෙයවනවා. ඒක ඇත්තටම ලොකු අවස්ථාවක්. එවැනි ප‍්‍රවීණයින් වගේම ගායන ක්ෙත්‍ෂ්ත‍්‍රයේ ප‍්‍රවීනයින් එක්ක සහ නවක අය එක්කත් අත්දැකීම් බෙදා හදා ගැනීමට ලැබුණු ලොකු අවස්ථාවක් ඒක.

මේ නිරාශා නාට්‍ය විකාශය වන්නේ?

දෙසැම්බර් 03 වැනිදා සිට. (ස්වාධීන රූපවාහිනී සේවයේ) සඳරුවන් ජයවික‍්‍රමගේ අධ්‍යක්ෂණයක්.

නිරාශා වගේ සැබෑ පෙම්වතියක් නැද්ද?

සැබෑ පෙම්වතියත් නැහැ. මාගේ වෘත්තියෙන් ස්ථාවර වීම තමයි පළමු අරමුණ. සංගීත නිර්මාණය කිරීම සහ ඒවා එක්කම තමයි ජීවිතය ගෙවන්නේ. ඉදිරියේදී චිත‍්‍රපටයක සංගීත අධ්‍යක්ෂණයටත් අවස්ථාව ලැබී තිබෙනවා. තවත් මගේ ගීත දෙකක් පිට වෙන්න තියෙනවා. ඒ අතරේ තමයි රඟපාන්නෙ.

නිරාශා නාට්‍යයේ පෙම්වතියට රඟපාන්නෙ කවුද?

මේ නාට්‍යයේ ස්වභාවය වෙනස්. අපි එය නරඹලාම බලමු. මොනවද වෙන්නෙ කියලා.

තවත් ටෙලිනාට්‍ය බාරගෙනද තියෙන්නෙ?

නිරාශාට පෙර තවත් 6 – 7 කට විතර ආරාධනා ලැබුණා. ඒත් තෝරා ගත්තෙ නැහැ. මේකත් ඇත්තටම අහම්බයක්. සඳරුවන් ජයවික‍්‍රම මහතා වෙනත් සංගීත වැඩකට මා එක්ක කතා කරන්න ආවාම මේ වැඬේ ගැන කතා කළා. මෙහි මගේ කොටස් සියල්ලම වගේ රූගත කළේ ඕස්ටේ‍්‍රලියාවේදීයි. බුද්ධධර්මය, ආදරය, සංසාරය මේ සියල්ලෙහි හොඳ මුසුවක් මේ නාට්‍යයේ ගැබ්ව තිබෙනවා. ඒ නිසාම මට ඒකට හිත ගියා.

චන්දීප කොහොම කෙනෙක්ද?

විශේෂිත නැහැ. පාඩුවේ මගේ වැඩක් කරගෙන කාටවත් කරදරයක් නැතිව සිටින කෙනෙක්.

ගෙදර කට්ටිය එකතු වුණාම මොනවගේ දේ ගැනද වැඩිපුර කතා කරන්නේ?

මේ දිනවල ඔක්කොමලා හරිම කාර්ය බහුලයි. සංගීතයෙහි ස්වාභාවය එක්ක හැමෝම ඒ විදියයි. අම්මා, තාත්තා, නංගී මම එකතු වුණාම සංගීත කටයුතුම තමයි කෙරෙන්නෙ. මගේ විවේකය ඇත්තටම සංගීතයයි. ඒකයි මුලදීම මම කිව්වෙ මේක මගේ ජීවන රිද්මය කියලා.

නංගීත් එක්ක හරි එකතුයි නේද?

ඔව්, අපි දෙන්නා එහෙමයි.

දෙන්නගෙ රහස් එහෙමත් කතා වෙනවා ඇති?

මගේ ජීවිතයේ එහෙම රහස් කියලා දේවල් නැහැ. මම හිත ඇතුළේ සඟවා ගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. එන අදහස් ප‍්‍රකාශ කරනවා. හැබැයි ඉතින් නංගි නම් එයාගෙ රහස් එළියට දුන්නෙ නැහැ වගෙයි. ගෑනු ළමයින්ගෙ හැටි එහෙම වෙන්නැති. එයා ඇත්තටම හරි හොඳ සහෝදරියක්. මට ආඩම්බරයි ඇය මගේ නැගණිය වීම.

Comments