ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට සියල්ල සූදානම්

2

ගාල්ල – ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අද (11) පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර අවසන් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විධානපතිරන මහතා පැවසීය.

ඡන්ද මධ්‍යස්ථාන 47 කදි මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද  (10) පෙරවරුවේ සිදු කෙරිණි.පූර්ණ ආරක්ෂාව මධ්‍යයේ ඡන්ද පෙට්ටි සහ අනෙකුත් ලිපි ලේඛන ප්‍රවාහනය සිදු විය.

 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි ඡන්ද දායකයන් 53384 සුදුසුකම් ලබා තිබේ.අද පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා ඡන්දය ප්‍රකාශ කල හැකි අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් රැගෙන යාම අත්‍යාවශ්‍ය වෙයි.

 පිළිගත් දේශපාලන පක්ෂ 05කින් ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන් 155 දෙනෙකු තරග වදින අතර ඉන් සභිකයින් 28 දෙනෙකු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත. මෙම මැතිවරණ කටයුතු සඳහා කාර්‍ය මණ්ඩලය 800 පමණ යෙදවීමට කටයුතු කර ඇත.

ඇල්පිටිය ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර සිය ඡන්දය ඉතාම ඕනෑ කමින් ලබාදීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඒ මහතා පැවසීය.ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිය දෛනික කටයුතු වල නිරත වන ලෙස ඉල්ලා සිටියේය.ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිපල නිකුත් කිරීම මැතිවරණ පනතට අනුව සිදුකරන අතර එම එක් එක් මධ්‍යස්ථාන වල පැවැත්වෙන ඡන්ද ගණන් කර ප්‍රතිපල නිකුත් කරන අතර ඇල්පිටිය ප්‍රදේශයේ කොට්ඨාස 17ක් ක්‍රියාත්මක අතර එම කොට්ඨාස වලදී ජයග්‍රහණය කරනු ලබන අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කෙරේ.

පසුව කොට්ඨාස 17 ප්‍රතිපල එකතුකර ඇල්පිටිය කාර්මික විද්‍යාලයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සමස්ත ප්‍රතිපල නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සමස්ත ඡන්ද ප්‍රතිපලය අද රාත්‍රි 10.00 පමණ වනවිට නිකුත් කිරීමට හැකි වනු ඇතිබව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය සඳහන් කරයි.  

Comments