ආපදා රක්ෂණයෙන් කෝටි 550ක් වන්දි

2

ශ්‍රී ලංකා රක්ෂණ ඉතිහාසයේ පළමු වතාවට ස්වභාවික ආපදාවන්හිදී මහා භාණ්ඩාගාරයට බරක් නොවී පොදු ජනතාවට නොමිලේ රක්ෂණාවරණයක් ලබාදීමට 2016 දී ඇරඹි ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය යටතේ අවුරුදු දෙකකට රුපියල් කෝටි 550 ක වන්දි මුදලක් ගෙවා තිබේ.

ස්වභාවික ආපදාවන්ගේ බලපෑම්වලට ලක්වන රාජ්‍යයන් පහ අතරට ශ්‍රී ලංකාව එක්වී ඇතැයි ගෝලීය වශයෙන් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මේ තත්ත්වයෙන් මිදී ශ්‍රී ලංකාවේ ජනතාවට විපත්වලදී සහන සැලැසීමට මහා භාණ්ඩාගාරයේද සහාය ඇතිව තම අරමුදල් මණ්ඩලය ජාතික ස්වභාවික රක්ෂණ ක්‍රමය පිහිට වූ බව ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරි සනත් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මේ අන්දමට රටේ ජනතාවගේ යහපත පතා තමන් ඇතුළු පිරිස ඉකුත්දා පෝලන්තයේ පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවට කරුණු දැක්වූ බවද එහිදී ශ්‍රී ලංකාවට ඉහළ ප්‍රසාදයක් හිමි වූ බවද සනත් ද සිල්වා මහතා කීය.

ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ උපදේශක හා ගෝලීය ව්‍යාපාර උපදේශක සමාගමේ විධායක අධ්‍යක්ෂ චන්ද්‍රි ගුණවර්ධන, ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති මංජුල ද සිල්වා යන මහත්වරු ද මේ ජාත්‍යන්තර සමුළුවේදී කරුණු දැක්වූ බව පවසන සිල්වා මහතා මෙසේද කියා සිටියේය.

ස්වභාවික ආපදාවෙන් බලපෑමට ලක්වන රාජ්‍යයන් පහ අතර ශ්‍රී ලංකාව වඩාත් බලපෑමට ලක්වන රාජ්‍යයක් ලෙස ගෝලීය වශයෙන් හඳුනාගෙන ඇත.

2016 වර්ෂයේ ශ්‍රී ලංකාවේ රක්ෂණාවරණ ලබා නොමැති ජනගහනය ස්වභාවික ආපදාවන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය පිහිටුවන ලදී. එහි ආරම්භයේ සිට එම රක්ෂණාවරණ ක්‍රමය එහි ස්ථාවරත්වය කෙරෙහි බොහෝ අභියෝගයන්ට මුහුණදෙමින් පවතී.

2016 වර්ෂයේ එහි ආරම්භයේ සිට ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමයේ පවතින අභියෝගයන් හා දියුණුව මෙසේය.

මෙම ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය, ස්වභාවික ව්‍යසනයෙන් මරණයට පත්වීම සහ පුද්ගලයන් අතුරුදන්වීම, හදිසි අවස්ථාවෙන් මුදාගැනීම් සඳහා වූ වියදම්, කුඩා හා ක්ෂුද්‍ර ව්‍යාපාර ස්ථාන හානිවීම (වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 10 ට නොඅඩු), නිවාස විනාශ වීම යනාදී අවස්ථාවන්හිදී රක්ෂණාවරණය නොකළ ජනගහනය සඳහා ජාතික භාණ්ඩාගාරයට බරක් නොවී සහනයක් ලබාදීම සඳහා ඇතිකරන ලදී.

2018 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ අවුරුදු දෙකේ ජාතික රක්ෂණ භාර අරමුදල විසින් මෙම රක්ෂණ ක්‍රමය යටතේ රුපියල් බිලියන 5.5 ට වඩා වැඩි වන්දියක් ගෙවන ලද අතර මෙම රක්ෂණ වාරිකය සඳහා ජාතික භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 800 ක් ජාතික රක්ෂණ භාර අරමුදලට ගෙවන ලදී.

මෙම ක්‍රමය මඟින් රජයට සහ රක්ෂණාවරණ නොලද ජනතාවට වඩාත් ප්‍රයෝජන ලැබී ඇති අතර රජය විසින් ගෙවන ලද රක්ෂණ වාරිකය සහ ප්‍රති රක්ෂණාවරණ ගාස්තුව අතර ඇති පරතරය හේතුවෙන් ජාතික රක්ෂණ භාර අරමුදලට වඩාත් පීඩනකාරි අභියෝගයක් විය.

Comments