අලියෙක් ගහලා මැරුණත් ලක්ෂ පහයි – ෆොන්සේකාගේ හෝටල් බිලත් ලක්ෂ පහයි

1

සමහරු කැමතියි ෆොන්සේකට කවුරු හරි ගහනවා නම්. තවත් කට්ටියක් කැමතියි තෙවරප්පෙරුමට ගහනවට. දෙපැත්ත ගහගෙන එකෙක් වැටෙනකම් තමයි කවුරුත් බලාගෙන ඉන්නේ. හැබැයි ඉතින් මම කියන්න ඕනේ ෆොන්සේකා මහත්තයාට මම නම් තවම ගැහුවේ නෑ.මට එයත් එක්ක ප්‍රශ්නයකුත් නෑ. එයා තමයි තැන තැන ගිහින් මේ ගැටුම ඇති කළේ. ෆොන්සේකා මට තැන තැන ගිහින් බනිනකොට මම ඒවට සුළු අවි ප්‍රහාරයක් විතරයි එල්ල කළේ. මම තවම ෆොන්සේකට ගැහුවේ නෑ. ෆොන්සේකට ගහන්න බර අවිත් මම ළඟ තියෙනවා. ඒවට දමන උණ්ඩත් කන්ටේනර් ගණන් තියෙනවා. මම බරඅවි ප්‍රහාර එල්ල කරන්න කලින් එතුමා අගමැතිතුමා හමුවෙලා වරද පිළිගෙන පරාජය බාරගත්තා යැයි සමාජ සවිබල ගැන්විම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවසිය.

අමාත්‍ය වරයා මේ බව පැවසුවේ වන අලි ප්‍රහාරයෙන් මියගිය පොළ පහළ,ධර්මීගම,සූරියවැව පදිංචි 54 හැවිරිදි එම්. පියසිරි මහතාගේ අවමගුල පැවැති නිවසට පැමිණි අවස්ථාවේදීය. නියෝජ්‍ය අමාත්‍ය වරයා අවමගුල පැවැති නිවසට වියළි ආහාර හා මුදල් පරිත්‍යාගයක්ද සිදුකළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මෙසේද පැවසීය.

අද මේ සූරියවැව අවුරුදු 54ක් වයසැති දරුවෝ 06 දෙනෙකුගේ තාත්ත කෙනෙක් වන අලි ප්‍රහාරයෙන් මියගිහින් තියෙනවා. මේකේ වගකීම සම්පූර්ණයෙන්ම හිටපු වනජීවී ඇමතිවරුන් ඇතුළු සරත් ෆොන්සේකාත් බාර ගන්න ඕනේ. මොකද වනජීවි නියෝජ්‍ය ඇමති ලෙස මම මේ ප්‍රදේශයේ පැවති වන අලි ගැටලුවට විසඳුම් දෙන්න කටයුතු කරද්දී එය නතර වුනේ වනජීවී ඇමති ලෙස කටයුතු කළ ෆොන්සේකා මහත්තයා නිසයි. මේ අලි මිනිස් ගැටුමට විසඳුමක් එනකම් මම මේ ආරම්භ කළ සටන නවත්තන්නේ නෑ.

වන අලි ප්‍රහාරයකින් මියයන කෙනෙකුට ගෙවන වන්දිය රුපියල් ලක්ෂ පහයි. වනජිවි ඇමති ලෙස ෆොන්සේකා මහත්තයා මේ පැතිවලට ඇවිත් ඇවිදගෙන යනකොට ඒ අයගේ හෝටල් බිලත් රුපියල් ලක්ෂ පහයි.එහෙම කරලා නම් මේ අලි මිනිස් ගැටුමට විසඳුම් දෙන්න බෑ. අද මේ වන අලි ප්‍රහාරයෙන් සූරියවැව මියගිය තාත්තට දරුවෝ 06 දෙනෙක් ඉන්නවා. දරුවෝ තුන්දෙනෙකු තවම ඉගෙන ගන්නවා. මේ අයට රුපියල් ලක්ෂ පහක් දිලා මේ අයගේ ප්‍රශ්න විසදන්න පුළුවන් කමක් තියෙනවද නෑ. මේක ජාතික ගැටලුවක්.මේක කොළඹ ඉඳන් සිතල කාමරවල ඉඳලා හෝටල්වලට වෙලා ඉඳලා විසඳන්න බෑ. මම හැමදාමත් කියනවා වගේ මේ පොලොවේ පයගහන්නේ නැතිව මේ ප්‍රශ්නය විසඳන්න බෑ. වන අලි ප්‍රහාරවලින් පියෙක් නැති වුනොත් ඔහුගෙන් යැපෙන්නන්ට රක්ෂණ ක්‍රමයත් ඇති කළ යුතුයි. අවුරුදු 18ක් වත් වෙනකම් මේ දරුවන්ට පෙන්ෂන් එකක් දෙන්න ඕනේ.

මේ අවස්ථාව සඳහා දකුණු පළාත් සභා මංත්‍රි සුජිත් මුතුකුමාරණ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Comments