අද අලුයම ගෝඨා සිංගප්පුරු බලා පිටත් විය

2

වෛද්‍ය පරීක්ෂණයකට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද(10) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

මෙම පිරිස යළි ඔක්තෝම්බර් මස 12 දින දිවයිනට පැමිණීමට නියමිතයි.

හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රුපියල් මිලියන 33.9 ක රජය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා මේ  මස 9 වන දා සිට 12 වනදා දක්වා කාලසීමාව තුළ විදේශ ගත වීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අවසර ලබා දුන්නේය.

සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

ඉකුත්දා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී  ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් වශයෙන් තරග  කිරීමට තීරණය කර ඇති හෙයින් ඊට අදාළ නාම යෝජනා පත්‍ර භාර දීමේදී අනන්‍යතාවය තහවුරු කිරීමේ කටයුතු සඳහා දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙස ඉල්ලා තිබුණි.

එමෙන්ම තම සේවාදායකයා මෑතකදී සිංගප්පූරුවේදී හදවත් සැත්කමකට භාජනය වූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඊට අදාළ පරීක්ෂණයක් සිදුකර ගැනීම සඳහා ඔක්තෝබර 9 සිට 12 වනදා දක්වා කාලසීමාව තුළ විදේශගතවීමට අවශ්‍යව ඇති බව එදින කියා සිටියේය.

ඒ සඳහා දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙසත් පණවා තිබෙන විදෙස්ගමන් තහනම අදාළ කාලසීමාව තුළ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණි

Comments