අගමැති ධුරය යළි රනිල්ට දෙන්න යෝජනාවක්

16

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය දැරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් 12දා පාර්ලිමේන්තුව රැස්වුණ විටදී ඉදිරිපත් කර වැඩි ඡන්දයෙන් සම්මත කර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති පිළිබඳ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා අරලියගහ මන්දිරයේ ඊයේ (7) පැවැති යුක්තියේ ජන හඬ මාධ්‍ය සාකච්ඡාවේදී පැවැසීය.

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනාව ඉදිරිපත් කරන බව පැවැසූ මන්ත්‍රී නීතිඥ පෙරේරා මහතා මේ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්වත් කළ බවත් පැවැසීය.

එකසිය දහතුනකටත් එහා ගිය බහුතරයක් තිබෙන බව යෝජනා සම්මතයේ දී ඔප්පු කර පෙන්වන බව පැවැසූ මන්ත්‍රී නීතිඥ පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජාතික පෙරමුණේ කිසිම බෙදීමක් හෝ අර්බුදයක් නොමැති බවට වගකීමෙන් ප්‍රකාශ කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්විය යුතු මතයේ පිහිටා සියලු දෙනාම එකට එක්ව එක හඬින් ප්‍රකාශ කරන බවත් පැවැසීය.

දහනම වැනි සංශෝධනය පිළිබඳ ජනාධිපතිවරයාත්, හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාත් මත දෙකක සිටින බව පැවැසූ මන්ත්‍රී නීතිඥ පෙරේරා මහතා ජනාධිපතිවරයා පවසන්නේ ගැටලු ඇත්නම් සංශෝධනය කිරීමට සූදානම් බව යැයි ද හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගේ මතය දහනම වැනි සංශෝධනය අවලංගු කිරීම බවත් ප්‍රකාශ කළේය.

Comments